Home » දෙවන මනාපයේ වටිනාකම දැන ගන්න

දෙවන මනාපයේ වටිනාකම දැන ගන්න

by mahesh
August 23, 2024 1:00 am 0 comment

උදිත ගුණවර්ධන

මෙවර ජනාධිපතිවරණ සටන තුළ අපේක්ෂක සටන තියුණුවන බවක් දැක ගැනීමට පුළුවන. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ වඩාත් ප්‍රබල සහ සමාන ජනතා ආකර්ෂණයක් ලබා ගත හැකි ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනෙකු සටනට එළඹ තිබීමය. සාමාන්‍ය කේවල මැතිවරණ ක්‍රමය තුළ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වුවද රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකනු ලබන ශ්‍රී ලංකාවේ ජනධිපතිවරණය තුළ වැඩිම ඡන්ද ලබා ගත් පමණින් ඔහු ජයග්‍රාහකයා බවට පත් නොවේ. ව්‍යවස්ථාව තුළ කියැවෙන පරිදි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වීමට නම් සියයට පනහක් සහ එක් ඡන්දයක් අවම වශයෙන් තිබිය යුතුය. මෙතෙක් කල් පැවැති සියලු ජනාධිපතිවරණවලදී ජයග්‍රාහී අපේක්ෂකයා සියයට පනහ සීමාව ඉක්මවා ගිය අතර ඉතාමත් තියුණු සටන් දෙකක් වාර්තා වූයේ 1988 සහ 2005 ජනාධිපතිවරණවලදී පමණි. සාමාන්‍ය ලෙස බැලුවහොත් පසුගිය සියලු ජනාධිපතිවරණවලදී මතුව ආවේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු පමණි. තුන්වන අපේක්ෂකයාට 5% සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි විය. තුන්වන අපේක්ෂකයන් ලෙස මතුව ආ රෝහණ විජේවීර, ඔසී අබේගුණසේකර, නන්දන ගුණතිලක මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට ද සියයට පහේ සීමාව ඉක්මවා යාමට හැකියාව නොලැබුණි. එහෙත් මෙවර විශ්ලේෂක අදහසට අනුව එක හා සමාන අපේක්ෂකයන් තිදෙනෙක් සිටිති. තුන්වැන්නා වේ යැයි සිතන අපේක්ෂකයා පවා පහසුවෙන් 20% සීමාව ඉක්මවා යාමට හැකි අපේක්ෂකයකු විය හැකිය. සිව්වැන්නා ද 10% ආසන්නයේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඒ තත්ත්වය තුළ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් කෙනෙකු 50% ඉක්මවා යයි නම් එය සුවිශේෂ දේශපාලන තත්ත්වයකි.

මේ තත්ත්වය තුළ ජයග්‍රාහකයා තෝරා ගැනීමට දෙවන මනාපයට යාමට යම් ඉඩක් තිබේ. මෙවැනි සමයක දේශපාලනය පිළිබඳව ස්ථිර අනාවැකි පළ කිරීම කළ නොහැකි වුවද එවැනි දෙවන මනාපය ලබා ගන්නා තැනකට ගියහොත් ඡන්ද දායකයා දෙවන මනාපය ලබා දෙන්නේ කෙසේද ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න සලකා බැලිය යුතුය.

මෙරට ජනාධිපතිවරණ ක්‍රමය තුළ එක් ඡන්ද දායකයකුට එකම වටිනාකමින් යුතු ඡන්ද තුනක් හිමි වේ. එහිදී තමන් කැමැතිනම් තනි අපේක්ෂකයකුට කතිරයක් ගසා තනි කැමැත්ත පළ කළ හැකිය එසේ නොමැති නම් තමන් කැමැති අපේක්ෂක පිළිවෙළ අනුව ඔවුන්ගේ නම් ඉදිරියේ ඇති කොටුව තුළ පිළිවෙළින් 1, 2, 3 ලෙස සටහන් කිරීම ද කළ හැකිය. මෙම ක්‍රමයේ තිබෙන සුවිශේෂ කරුණ වන්නේ තමාගේ පළමු කැමැත්ත ඇති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට නොහැකි වුවහොත් දෙවන කැමැත්ත ඇති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හෝ තමන් අකැමැති අපේක්ෂකයා බලයට පත්වීම වැළැක්වීමට හැකි වීමය. එහිදී සැලකිය යුතු කරුණ වන්නේ මෙම ඡන්ද තුනේ වටිනාකම ලැබෙන්නේ කිසිවකු 50% නොඉක්මවන අවස්ථාවකදීය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පනතේ මනාප සලකුණු කිරීමේ අවස්ථාව හා ගණන් කිරීම සිදු කරනු ලබන්නේ මේ අයුරිනි.

එහිදී දෙවන මනාපය සහ තෙවන මනාපය ගණනය කිරීමේ ක්‍රමවේදය මෙසේය. මෙවන් ඡන්ද විමසීමකදී පළමු වටයේ වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයා ජයග්‍රාහකයා නොවේ. එබැවින් ජයග්‍රාහකයා තේරීමට අනුගමනය කිරීමට සිදුවිය හැකි ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය” පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සුදුසුය.

ඡන්දය දෙන ආකාර – ඡන්ද පත්‍රිකාවේ ආකෘතියක් ඇසුරින්

මනාප එකක් පළ කර ඇති අවස්ථා

A
B X
C

මනාප එකකට වඩා පළ කර ඇති අවස්ථා

A
B 2
C 1
D

නැතිනම්,

A
B 2
C X
D

ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය” – (දෙවන හා තෙවන) මනාප ගණන් කිරීම සරල උදාහරණයක් ඇසුරෙන්

සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් යැයි සිතමු. වැඩිම ජන්ද සංඛ්‍යාව ලබාගත්ත ද A ජයග්‍රාහකයා නොවේ. (වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 50%+1 නොමැති නිසා). මේ අනුව තරගය පවතින්නේ ඉහළම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පළමුවැන්නා හා දෙවැන්නා වු A හා B අතර පමණක් වේ. C, D හා E තරගයෙන් ඉවත් වේ.

දෙවන වටයේ දී තරගය පවතින්නේ A හා B අතරය.

මෙහිදී A හා B ට මනාපය පළ කර ඇති ඡන්ද පත්‍රිකා පසෙක තබනු ලැබේ.

C, D හා E වෙත පළමු මනාපය පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා පසෙක තබනු ලබයි.

පළමු මනාපය C, D හෝ E සඳහා ලකුණු කරන ලදුව දෙවන මනාපය A හෝ B සඳහා සලකුණු කර ඇත්නම්,

A ට නම් A ට අදාළ පෙට්ටියට ද

B ට නම් B ට අදාළ පෙට්ටියට ද දමනු ලැබේ.

පළමු හා දෙවන මනාප පමණක් ලකුණු කරන ලදුව, ඒවා C, D හා E අතර පමණක් බෙදී ඇති විට, එම ඡන්ද පත්‍රිකා පසෙක තබනු ලැබේ.

පළමු මනාපය, දෙවන මනාපය හා තෙවන මනාපයන්, C, D හා E සඳහා පමණක් සලකුණු කර ඇති විටක හෝ තෙවන මනාපය සලකුණු කර නැති විට එම ඡන්ද පත්‍රිකා පසෙකින් තබනු ලැබේ.

ඉහත අවස්ථාවේම තෙවන මනාපය Aට හෝ B ට සලකුණු කර ඇති විට ඒවා ද A හෝ B ගේ පෙට්ටිවලට දමනු ලැබේ.

අනතුරුව A හා B ගේ පෙට්ටිවල ඇති දෙවන හා තෙවන මනාප ගණනය කරනු ලැබේ.

i. A ලැබූ දෙවන හා තෙවන මනාපවල එකතුව = 03

ii. B ලැබූ දෙවන හා තෙවන මනාපවල එකතුව = 10

ඡන්ද ගණන් කිරීමේ පළමු වටය තුළ

i. A අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව – 40

ii.B අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව – 35

ඡන්ද ගණන් කිරීමේ “දෙවන වටය” – (දෙවන හා තෙවන) මනාප ගණනයෙන් පසු එකතු වූ ඡන්ද

A අපේක්ෂකයා – 03

B අපේක්ෂකයා‍ – 10

ඒ අනුව සමස්ත ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 88 න්

A අපේක්ෂකයා ලැබූ ඡන්ද සංඛ්‍යාව – 40+03 = 43

B අපේක්ෂකයා‍ ලැබූ ඡන්ද සංඛ්‍යාව – 35+10 = 45

සමස්ත ඡන්ද සංඛ්‍යාව වන 88 න් අඩකට වඩා එනම් 45ක් ලබාගත් B අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වේ.

පළමු වටයේ දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

දෙවන වටයේදී A අපේක්ෂකයාට දෙවන හා තෙවන මනාප ඡන්ද 08ක් හා B අපේක්ෂකයාට දෙවන හා තෙවන මනාප ඡන්ද 05ක් ලැබුණේ නම්,

වලංගු ඡන්ද ගණන 88 යි. 88 /2 = 44 යි. 48 > 44 බැවින්,

A ජයග්‍රහණය කරනු ලැබේ.

දෙවන වටයේ විශේෂ කරුණු

දෙවන වටයේ දී A ට හෝ B ට කිසිදු දෙවන හෝ තෙවන මනාපයන් නොලදහොත් පළමු වටයේ ලද වලංගු ඡන්ද සංඛ්‍යාව අනුව

A අපේක්ෂකයා ලැබූ ඡන්ද – 40

B අපේක්ෂකයා ලැබූ ඡන්ද – 35

මෙහිදී A ජයග්‍රහණය කරනු ලැබේ.

දෙවන හා තෙවන මනාප ගණනය කළ පසුව A හා B අපේක්ෂකයින් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව කුසපත් ඇදීමක් මඟින් ජයග්‍රාහකයා තෝරා ගනියි.

අවුරුදු හතළිහකට වැඩි ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයක් මෙතෙක් ඇතිව නොමැත. එහෙත් මෙවර ජනාධිපතිවරණ සටන තියුණුය. තව ආසන්න කාලයකි. මේ කාලය තුළ සිදුවන දේශපාලන සිදුවීම් අනුව ඉදිරි ජනාධිපතිවරයා කවුද යන්න අපට දැන ගැනීමට ලැබෙනු ඇත. ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගත්ත ද අවසානයේදී ජයග්‍රහණය ලබා ගන්නේ අවුරුදු සියයක කිට්ටු ඉතිහාසයක් ඇති ඇති මෙරට සර්වජන ඡන්ද අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. කවුරුන් දිනුව ද අවසාන ජයග්‍රාහකයා ප්‍රජාතන්ත්‍රවාදයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT