Home » 82 සටනේ ප්‍රතිඵල කී අමුත්තා

82 සටනේ ප්‍රතිඵල කී අමුත්තා

by mahesh
August 23, 2024 1:00 am 0 comment

උදිත ගුණවර්ධන
සුමනා නෙල්ලම්පිටිය

පළමු මහමැතිවරණයේ සිට මෙරට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමුඛයා වූයේ ජාතික ගුවන්විදුලියයි. විස්තරාත්මක ප්‍රතිඵල නිකුත් කළේ දිනපතා ජාතික පුවත්පත් මඟිනි.එහෙත් 1982 වර්ෂය වන විට ඒ මාධ්‍ය අවකාශයට රූපවාහිනියේ ආගමනයත් සමඟ ප්‍රතිඵල නිකුත් කිරීමට රූපවාහිනි මාධ්‍යයද එක්විය. ඒ වන විට ස්වාධීන රූපවාහිනිය පැවැතුණද ජපන් පරිත්‍යාගයක් ලෙස ලැබුණ ජාතික රූපවාහිනිය සිය විකාශන කටයුතු ආරම්භ කරන්නේ ද ඒ කාලයේය.

ඒ සමඟම පැමිණි 1982 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකාශය කිරීමේ කාර්ය ද රූපවාහිනියට ලැබුණි. එහෙත් ඒ වන විට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන තාක්ෂණය හෝ පළපුරුද්ද ඔවුන් සතුව නොතිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ඕනෑකම පමණක් ඔවුන් සතුව තිබුණි. ඒ අනුව ප්‍රතිඵල විකාශය ආරම්භ කිරීමට තීරණය විය.

ඒ වන විට ප්‍රවෘත්ති විකාශන කටයුතු සඳහා එක්ව සිටියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වූ රොස්මන්ඩ් සේනාරත්ත සහ සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි. ඇය ඒ වනවිට රූපවාහිනී සංස්ථාවේ ස්ථිර වැඩසටහන් නිෂ්පාදිකාවක ද වූවාය. ඇය ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූවා මෙන්ම මැතිවරණ ප්‍රතිඵල ඉතිහාසයේ පළමු ප්‍රතිඵල ප්‍රකාශිකාව ද වූවාය. භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රතිඵල විකාශය කළ එවක ජාතික රූපවාහිනිය මෙරට මැතිවරණ ඉතිහාසයට ද අලුත් අත්දැකීම් එක් කිරීමට කටයුතු කළ සුවිශේෂ මාධ්‍ය ආයතනයක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.1962 වර්ෂයේදී ජාතික ගුවන්විදුලියෙන් ලද පළපුරුද්ද නිසා රූප මාධ්‍යය තුළ දස්කම් දැක්වීමට නෙල්ලම්පිටිය මහත්මියට අපහසුවක් නොතිබුණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 ඔක්තෝබර් 20 වැනිදාය. ඒ සඳහා නාම යෝජනා භාර ගනු ලැබුවේ 1982 සැප්තැම්බර් 17 වැනිදාය. සැප්තැම්බර් 17 යනු ජයවර්ධන මහතාගේ ජන්ම දිනය ද විය. ජේ. ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, කොල්වින් ආර්. ද සිල්වා, වාසුදේව නානායක්කාර, ජී.ජී. පොන්නම්බලම්, රෝහණ විජේවීර යන මහත්වරුන් ජනාධිපති අපේක්‍ෂකයන් වූ අතර ඉන් ජයග්‍රාහකයා වූයේ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාය. එදා ජයවර්ධන මහතා ලැබූ ජයග්‍රහණය එකින් එකට ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත්කළේ ඇයයි. අද නම් පරිගණක රූප රටා නව මාධ්‍ය ඔස්සේ ප්‍රතිඵල නිකුත් කිරීම ඉතාමත් පහසු දෙයකි. එහෙත් අද මෙන් තාක්ෂණය දියුණු නැති එකල මැතිවරණ ප්‍රතිඵල විකාශයක් පවත්වාගෙන යාම මෙන්ම එම ප්‍රතිඵල නිවැරදිව ප්‍රකාශ කිරීම ද ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ සඳහා ඇය සමඟ ඉතාමත් දක්ෂ නිෂ්පාදන කණ්ඩායමක් ද සිටියහ.

නොවේ. පරිගණක තාක්ෂණය, පසුබිම් නිර්මාණ කටයුතු සියල්ල මිනිස් ශක්තියෙන් නිර්මාණය කිරීම වැනි කරුණු මෙම විකාශය තුළ තිබූ පැහැදිලි කරුණුය.

එවක මාධ්‍ය රූප අංශයේ ප්‍රධානියා වූයේ ශිවන්ත අර්ථසාද් මහතාය. පසුතල ඒකකයේ ප්‍රධානියා වූයේ ජේ.ඒ. වින්සන්ට් මහතාය. අපේක්ෂක නම් සහ ඡන්ද ලකුණු සිතුවම් කළේ ගුණදාස පතිරණ මහතාය. එමෙන්ම ලංකා සිතියම මත ජයග්‍රාහකයාගේ වර්ණ පිරවීම සඳහා අවශ්‍ය විදුලි රටා නිර්මාණය ද කර තිබුණි. එහි නිර්මාණ ශිල්පියා වූයේ එච්. චර්චිල් මහතාය.

එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල රූපවාහිනියෙන් විකාශය කිරීම ද එවකට මෙරට රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයන්ට මෙන්ම ප්‍රේක්‍ෂකයන්ට ද සුවිශේෂී අත්දැකීමක් විය. එදින මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය හා අධීක්‍ෂණය යටතේ ජාතික රූපවාහිනියෙන් මැතිවරණ නිල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ වගකීම පැවරුණේ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය වෙතය. අද තරගයට ප්‍රතිඵල කියන්නට රූපවාහිනි නාළිකා රැසකි. ඒ සියල්ලටම ලෝකයේ ඉහළම තාක්ෂණ පහසුකම් තිබේ. කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සිදු කරනු ලබන නිර්මාණ ද ඇතුළත්ය. අද කෘත්‍රිම බුද්ධිය අනුව සැකසුණු ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවෝද සිටිති. එහෙත් එදා ඒ කිසිවකු නොතිබුණි. එහෙත් අවම පහසුකම් යටතේ ඔවුහු තම වගකීම නොපිරිහෙලා ඉටු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT