1947 අගෝස්තු මාසයේ දී පැවැත්වුණු මැතිවරණයේදී ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් දියත් කළ ඡන්ද සටනින් පසුව එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළේය. අභිනව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා පත්විය. එවකට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර ළාබාලතම මුදල් අමාත්‍යවරයා වූ අයුරින්ම හෙතෙම ඩී.ඇස්. සේනානායක, ඩඩ්ලි. සේනානායක අගමැතිවරු යටතේ අය වැය වාර්තා හතක් ඉදිරිපත් කළ ලංකාවේ ළාබාලතම මුදල් ඇමැතිවරයා වීම ද විශේෂත්වයකි. 1951 සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කරන ලද කතාව, එවකට ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලි සම්බන්ධතා ඇතිකර ගැනීමට බොහෝ සෙයින් බලපෑ බව සඳහන් කළ යුතුය.
සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුව
1945 දෙවෙනි ලෝක යුද්ධ සමයේ දී පරමාණු බෝම්බය හෙළීම නිසා හිරෝෂිමා සහ නාගසාකි නගරවල ලක්‍ෂ ගණනක් ජනයා ඉතා බිහිසුණු මරණයකට ගොදුරු වූහ. එමෙන්ම එරටේ ආර්ථිකයට ද බිහිසුණු බලපෑමක් එල්ල වූ අතර, සාගතය පැතිරී ගොස් ජපන් ජනයා ලක්ෂ ගණනින් අනාථභාවයට පත්වූහ. එම ඛේදවාචකයේ කළු පැල්ලම මකා දැමීම සඳහා සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සම්මුතිය අත්සන් කෙරිණි.
1951 වසරේ සැප්තැම්බර් මස 04 වන දින අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී සාම සමුළුව පවත්වන ලදි. එදින එහි දී පෙරවරු 11ට කතාව ඇරැඹූ ජයවර්ධන මහතා විනාඩි 15ක පමණ ඉතා සංෂිප්තව කතාවක් කළේය. සම්මේලනයේ රජ කතාව වූයේ ද ඔහුගේ දේශනයයි. ඉතා මෘදු ස්වරයකින් සිය දේශනය අරඹා හඬ උස් පහත් කරමින් ඔහු තම තර්කය නියෝජිත පිරිසගේ සිත් තුළට කාවදින ලෙස ව්‍යක්තව සිත් ළගන්නාසුලු ආකාරයකින් ඉදිරිපත් කළේය.
සමුළු දේශනය
“ලංකාව ආක්‍රමණයට භාජනය නොවූ නිසා අපි භාග්‍යවන්තයෝ වෙමු. එහෙත් ගගන ප්‍රහාරවලින් ද, අග්නිදිග ආසියා සේනාධිනායකත්වය යටතේ අතිවිශාල බළකායන් රඳවා තැබීමෙන් ද, මිත්‍ර රටවල එකම රබර් නිෂ්පාදකයා වශයෙන් සිටි අපගේ ප්‍රධාන වෙෙළඳ නිෂ්පාදනවලින් එකක් වන රබර් වගාවට සිදුකරන ලද අලාභ හානිවලට පිළියම් යොදන ලෙස ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. එහෙත් අපි එසේ කිරීමට අදහස් නොකරමු.”
“ආසියාවේ වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උසස් බවට පත් කිරීමෙහි හේතුභූත වූ දහම් පණිවිඩය දුන් මහා ශාස්තෘවරයන් වදාළ “නහී වේරේණ වේරාණි සම්මන්තීච කුදාචනා අවෛරෙනච සම්මන්තී” (වෛරයෙන් වෛරය නොසන්සිඳේ. වෛරය සන්සිඳෙන්නේ මෛත්‍රියෙනි.) යන දේශනා පාඨය අප ඇදහීම ඊට හේතුවයි. දකුණු ආසියාවේ බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව තෙක් හා හිමාලය හරහා ටිබෙටය, චීනය හා අන්තිමට ජපානය තෙක් උතුරු දෙසට ද මෛත්‍රී ප්‍රවාහයන් පතුරුවාලූ ද, වෛෂ ශත සංඛ්‍යාවක් මුළුල්ලේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් අප එකමුතු කළා වූ ද බුද්ධ ශාසනය පිහිටවා වදාළ මහා ශාස්තෘවරයන් වන තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය එයයි. මෙම පොදු සංස්කෘතිය තවමත් නොනැසී පවතින බව මම පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගි වීමට පැමිණෙද්දී දක්නට ලැබුණි. ජපන් නායකයින් හා ඇමතිවරුන්ගෙන් මෙන්ම රටවැසියාගෙන් ද මට පෙනී ගියේ ශාන්ති නායකයාණන් වහන්සේගේ දහම් සෙවණ යටතේ තවමත් එරට පොදු ජනතාව වෙසෙන බවත් එම දහම පිළිගැනීමට ඔවුන් අභිරුචියෙන් සිටින බවත් ය. අප ඔවුනට ඒ අවස්ථාව ලබා දිය යුතුයි.”
එහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා සිය කතාව අවසන් කළේ මෙසේය.
“මේ ගිවිසුම වනාහි පරාජිත සතුරකුට සාධාරණය ඉටු කරන්නා වූ ඉතාමත් උදාර වූ සම්මුතියකි. අපි ජපන් ජනතාවට අපගේ සුහදතාවයේ හස්තය දිගු කරන අතරම අද අප අවසාන පිටුව ලියා මනුෂ්‍ය ඉතිහාසයේ මේ පරිච්ඡේදය අවසන් කොට හෙට අලුත් පිටුවක් ලිවීම ඇරැඹීමත් සමඟ ජපන් ජනතාවටත්, අපටත් එක්සත්ව එක්සිත්ව සාමයෙන් හා සමෘද්ධියෙන් නොඅඩු මිනිස් ජීවිතයේ උත්තරීතර වින්දනය භුක්ති විඳීමට වාසනාව උදාවෙතැයි මම විශ්වාස කරමි.”
ජේ.ආර්. ජයවර්ධන මහතා වේදිකාවෙන් ඉවත් වී ගොස් ඇත්තේ එතෙක් එම සමුළුවේ දෙසවන් අගුළු වැටෙන තරමට රැව් දුන් ඔල්වරසන් හඬ මැද්දේය. සැන්ෆ්‍රැන්සිස්කෝ “ක්‍රොනිකල්” පුවත්පත සම්මේලනයේ කෙටිම දේශනය වූ ජයවර්ධන මහතාගේ කතාව වාර්තා කරමින් එම කතාව අවසානයේ නැඟුණ අත්පොළසන් හඬින් සමුළුව පැවැත්වුණු ඔපෙරා රඟහලේ ශ්‍රවණාගාරයේ දොර ජනෙල් පවා කම්පනයට පත් වූ අයුරු වැඩිදුරටත් විස්තර කළේය.
ඔපෙරා රඟහලේ ප්‍රවේශ ශාලාවට පිවිස තම නියෝජිත කණ්ඩායම සමීපයට යෑමට ඔහු උත්සාහ කරන විටදී විවිධ ජාතීන්ට අයත් නියෝජිත පිරිස් අතට අත දෙමින් සිය සතුට පළ කරමින් ආචාර සමාචාර දැක්වූහ. ඇතැමෙක් සමරු පොත් රැගෙන ඔහුගේ අත්සන ලබාගැනීමට තරගයක යෙදුණේය. එම අවස්ථාව මගහැර යාමට ආයාසයක් දැරූ ඔහුට තම දූත පිරිස සමඟ එක්වීමට ආරක්‍ෂක නිලධාරීන්ගේ සහාය අවශ්‍ය විය. ඔහුගේ දේශනයට ඉතා සාවධානව සවන් දෙමින් සිටි ජපන් අගමැති ෂිගෙරු යොෂිඩා දෙනෙතින් ගලන කඳුළු බිඳු පිසලන අයුරු දැකගැනීමට හැකි විය.
ජයවර්ධන මහතාගේ කතාව එතැන් සිට සියල්ලන්ගේම හදවත සසල කිරීමට හැකි යුක්ති සහගත සිතුවිලිවලින් පොහොසත් කතාවක් විය. ඉන්පසුව බොහෝ කාලයක් යනතුරු ජපානයේ කෘතවේදීත්වය ශ්‍රී ලංකාවට ලැබීමට හේතුවක් වූයේය. ඉන් වසර 25කට පසුව ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට හා ප්‍රථම විධායක ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව රූපවාහිනී ජාලය, ජයවර්ධනපුර නවීන රෝහල, කොළඹ වරාය සංවර්ධනය කිරීමට වැනි ආයතන පරිත්‍යාග ලබාදෙමින් කළ ගුණ දැක්වීමට ජපානය අමතක කළේ නැත.
ජේ.ආර්. ජයවර්ධන මහතා පිළිගැනීමට විශාල පිරිසක් මෙරට ගුවන්තොටුපොළට රැස් වී සිටි ආකාරය දැකීමෙන් ඔහු විමතියට පත්විය. ජයග්‍රහණය මොන තරම් ශ්‍රේෂ්ඨ වූවත් එය පසුපස පැමිණීමට හැකි අතුරුඅන්තරා පිළිබඳව ජයවර්ධන මහතාට ඉව වැටුණේය. එම අවස්ථාවේදී හෙතෙම කෙටි ප්‍රකාශයක් කළේය. “මා ආපසු පැමිණ සිටින්නේ ඉතාම සාර්ථක අයුරින් මගේ වගකීම ඉටු කිරීමෙන් පසුවය. මා එය කළේ අගමැති වෙනුවෙන් එතුමාගේ උපදෙස් අනුව එතුමා මට පැවරූ කාර්යයයි.”
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශනයෙන් පසුව ජපානයේ ස්ථාන කිහිපයක දී ජයවර්ධන මහතාගේ ස්මාරක පිහිටුවා ඇති අතර පසුකාලීනව ශ්‍රී ලංකාවට ජපානයෙන් බොහෝ ආධාර ද ලැබුණි.
එම්. තාරික්