Home » පානදුරාවාදයේ උපාය මාර්ගික ප්‍රවේශය සහ කාලීන වැදගත්කම

පානදුරාවාදයේ උපාය මාර්ගික ප්‍රවේශය සහ කාලීන වැදගත්කම

by mahesh
August 23, 2024 1:02 am 0 comment

එළඹෙන සඳුදාට (26) යෙදෙන ඓතිහාසික පානදුරා වාදය පිළිබඳ අනුස්මරණය නිමිත්තෙනි.

ශ්‍රී ලාංකේය ජාතික ස්වෛරීත්වයේ ආශ්චර්යවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ ඓතිහාසික පානදුරාවාදයට වසර 151ක් සපිරෙයි. මතුපිටින් බැලූ කල බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් දෙක අතර පැවති හුදු මත ගැටුමක් පමණක් බව පෙනුණ ද, එම සංසිද්ධිය පසුබිමෙහි අධිරාජ්‍යවාදීන්ගේ සහ ජාතික නිදහස් සටනේ නියමුවන්ගේ උපායන් අතර සටනක් තිබී ඇති බව පැහැදිලි වන්නේ පානදුරාවාදයට පසුබිම සැකසුණු ප්‍රවණතාවන් සහ පානදුරාවාදයෙන් ඔබ්බට සිදු වූ පරිවර්තනයන් විමසා බැලීමෙනි.

හෙළදිව බටහිර ආක්‍රමණයන්ට ලක්වීම ඇරැඹුණේ වර්ෂ 1505 දී පෘතුගීසීන්ගේ ආගමනයත් සමඟිනි. තමන්ට අවනත නොවූ දේශීයයා මර්දනය කිරීමට කෲරත්වය හා අවි බලය යොදා පෘතුගීසින් මෙන් නොව තම පාලන තන්ත්‍රයට අනුගත වූවන්ට ප්‍රදාන, වරප්‍රසාද හා තානාන්තර ලබා දෙමින් ලංකාව තුළ සිය ආර්ථිකමය මෙන්ම දේශපාලන බලය තහවුරු කර ගැනීමට ඉන් පසු පැමිණි ලන්දේසීහු පියවර ගත්හ.

එමෙන්ම, සටනකින් තොරවම මහනුවර රාජධානිය තමන් යටතට පත් කරගැනීමට හැකි වුව ද, ස්වදේශික ජනතාව දිගින් දිගටම තම යකඩ සපත්තුවට පාගාගෙන සිටීම පහසු නොවන බව වටහා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට වැඩි කලක් ගත වූයේ නැත. උඩරට ගිවිසුම අත්සන් කෙරෙන අතර දී ම වාරියපොළ සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය ධජය බිම දමා පාගා නැවත සිංහ ධජය එසැවීමෙන් සහ ඉන් අනතුරුව 1818දී දියත් වුණු වෙල්ලස්ස නිදහස් සටන තුළින් ද ඔවුනට ඒ බව පසක් වන්නට ඇත. උඩරට ගිවිසුමේ කොන්දේසි අමතක කරමින් දැඩි මර්දනකාරී පාලනයක් හඳුන්වා දීමට සුදු අධිරාජ්‍යවාදීන් පියවර ගත්තේ ඒ නිසා විය යුතු ය. ස්වදේශික විමුක්තිකාමීන් විසින් 1848 දී දියත් කරන ලද මාතලේ සටනින් ද අධිරාජ්‍යවාදීන් නිගමනය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාව මත තම ආධිපත්‍යය තහවුරු කිරීමට නම් යටත්විජිත පාලනය දැඩි කිරීමට අමතරව ස්වදේශික ජනතාව සතු සංස්කෘතිකමය මූලයන් හා හරපද්ධතීන් ඔවුන්ගේ සන්තානයන් තුළින්ම ඉවත් කළ යුතු බවයි. හැඟීමෙන්ම ඉංග්‍රීසි ගැත්තන් වූ සමාජයක් නිර්මාණය කිරීමට සමත් වුවහොත් එවැනි ජනතාවක් තුළ ජාතික නිදහස් අදහස් ජනනය නොවන බවත්, නිදහස උදෙසා විප්ලවීය සටන් ඇති වීම ඉබේම වැළැක්වෙනු ඇති බවත්, සුදු අධිරාජ්‍යවාදී උපායමාර්ග තෝරන්නන් ඉතා සූක්ෂ්මව නිගමනය කරන්නට ඇත.

ගිහි පැවිදි එකමුතුව

බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් සහ ස්වදේශික හර පද්ධතීන් අවතක්සේරු කරමින් දියත් වුණු මෙම සංස්කෘතික ආක්‍රමණය ස්වදේශිකවාදී චින්තකයන්ගේ හා උපායමාර්ග තෝරන්නන්ගේ නිරීක්ෂණයට ලක් වන්නට ඇත. විශේෂයෙන්ම, පානදුරේ බෞද්ධයන් මේ අවදානම කල් ඇතිවම තේරුම් ගෙන සිටි බව 1826 තරම් ඈත දී ඔවුන් ඇතුළු රයිගම් හා සල්පිටි කෝරළ වාසීන් විසින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් පිළිබිඹු වෙයි. මිෂනාරීන් විසින් සිය ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට නොහැකි වූ ප්‍රදේශයන් අතර පානදුරේ විශේෂයෙන් හඳුනාගන්නා ලද්දේ ප්‍රදේශවාසී බෞද්ධයන් තුළ වූ ඒ අවබෝධාත්මක ශක්තිය නිසා විය හැකිය.

පානදුරා වාසීන් තුළ තිබූ මේ ස්වදේශිකවාදී චින්තන ශක්තිය පසුබමේ වූ බලවේග පිළිබඳ විමසීමේ දී පානදුරේ ගල්කන්දේ විහාරය (වර්තමාන රන්කොත් විහාරය) සුවිශේෂී වෙයි. එය බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික හා සංස්කෘතික පදනම ශක්තිමත් කිරීමට පාදක වූ කේන්ද්‍රස්ථානයකි. පානදුරාවාදයේ ගිහි බෞද්ධ සංවිධායකයන් වූ ජෙරමියස් දියෙස් සහ කොරනේලිස් ප්‍රේරා කුරුකුලසූරිය වැනි ප්‍රභූන් ද ගොඩනැඟුණේ ගල්කන්දේ විහාරය ආශ්‍රිතවය. 1873 ජූනි 12 වැනි දින දාවිත් ද සිල්වා දේවගැතිතුමන් විසින් පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේ පවත්වන ලද දේශනයට පිළිතුරු දේශනයක් ඊට හරියටම සතියකට පසු, එනම් ජූනි 19 වැනි දින, පානදුරේ ගල්කන්දේ විහාරස්ථානයට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වඩමවා පැවැත්වීමට හැකිව තිබීමෙන්ම පමණක් වුව ද ගල්කන්දේ විහාරයේ දායකත්වයෙන් පානදුරේ බෞද්ධ ස්වදේශිකවාදීන් විසින් ඒ වන විටත් ගොඩනඟාගෙන තිබූ ශක්තිය මනාව පිළිබිඹු කෙරෙයි.

පානදුරේ වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ ස්වදේශිකවාදී බෞද්ධ අධ්‍යාපන මෙහෙවර මේ පසුපස තිබූ තවත් යෝධ ගාමක බලයකි. එම අධ්‍යාපන විප්ලවය වඩාත් ජව සම්පන්න වූයේ 1841 දී උන්වහන්සේ විසින් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන පිහිටුවනු ලැබීමත් සමඟ ය.

තවද, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ පානදුරාවාදයේ සුවිශේෂී චරිතයකි. කොටහේනේ දීපදුත්තමාරාමයේ වැඩ වෙසෙමින් උන්වහන්සේ මිෂනාරී ප්‍රචාරයන්ට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූ සේක. පානදුරාවාදයට පෙර බද්දේගම, කැලණියේ වරාගොඩ, උදන්විට සහ ගම්පොළ යන ස්ථානයන් හි පැවති වාද ඒ අතර වෙයි. උන්වහන්සේගේ විවාදාපන්නවීමේ දක්ෂතාව පැහැදිලි වන්නේ පානදුරාවාදයට පූර්වගාමීව ගල්කන්දේ විහාරයේ දී බෞද්ධයන් විසින් සංවිධානය කෙරුණු දෙසුමට පවා උන්වහන්සේ වැඩමවා ගැනීමට පානදුරේ බෞද්ධයන් පියවර ගෙන තිබීමෙනි. පානදුරාවාදයට සහභාගි වීමට කොළඹ සිට පැමිණෙන අතර උන්වහන්සේව පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් තිබූ බවත් ඒ නිසා කරත්තකරුවකු ලෙස වෙස් මාරුකරගෙන උන්වහන්සේ පානදුරේට වැඩම කළ බවත් පැවසෙයි. එවැනි ප්‍රයත්නයක් දියත්ව තිබිණි නම් ඉන් ද පිළිබිඹු වන්නේ විවාදයන් හිදී ප්‍රතිවිරුද්ධ මත බිඳ දැමීමට උන්වහන්සේ සතු වූ ඒ දක්ෂතාව නිසා ගුණානන්ද හිමියන්ට මුහුණ දීමට ප්‍රතිවාදීන් තුළ වූ අකමැත්ත විය හැකිය.

පුනරුදය

මෙවන් වාතාවරණයක් තුළ, 1873 අගෝස්තු මස 26 හා 28 දෙදින පුරා පානදුරේ දී බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපාර්ශ්වය අතර මෙම ඓතිහාසික මහා වාදය පැවැත්වී තිබේ. හික්කඩුවේ නාහිමියන් සහ රත්මලානේ නාහිමියන් සමඟ වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති, බුලත්ගම ධර්මාලංකාර හිමිවරුන් ඇතුළු විද්වත් සංඝයාවහන්සේ ගේ මෙන්ම බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාගේ ද දාර්ශනික හා මතවාදීමය සහය ලබමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදාභිමුඛ වී තිබේ. ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් වාදයට අවතීර්ණ වී ඇත්තේ දාවිත් ද සිල්වා දේවගැතිතුමා සහ සිරිමාන්න කතිසේරුතුමා වන අතර, ඒ වෙනුවෙන් ගුණවර්ධන, ජයසිංහ සහ චාර්ලිස් සිල්වා ඇතුළු පාදිලි උන්නාන්සේලාගේ සහාය ලැබී ඇත. බෞද්ධයන් වෙනුවෙන් පොන්නහැන්නැදිගේ ජෙරමියස් දියෙස් සහ කුරුකුලසූරියගේ කොර්නේලිස් ප්‍රේරා කරුණාරන්න මහතුන් ද, ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් පීතර් දානියෙල් සහ මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතුන් ද, වාදය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර ඇත. වාදය නැරඹීමට දසදහසක පමණ පිරිසක් සහභාගි වූ බව ද, අවසානයේ එය අසා සිටි බෞද්ධ පාර්ශ්වය සිය ජයග්‍රහණය සනිටුහන් කරමින් පවත්වන ලද සාධු නාදය මුහුද ගොඩ ගලන්නා සේ ඇසුණු බව ද, පානදුරා වාදය පිළිබඳව සම්පාදනය වී ඇති ලිපිවල සඳහන් වෙයි.

පානදුරාවාදයේ යශෝරාවය ලොව පුරා ප්‍රචලිත වූයේ එඩ්වඩ් පෙරේරා මහතා විසින් වාද භූමියේ සිට සටහන් කෙරුණු එහි සම්පූර්ණ වාර්තාව ජෝන් කැපර් මහතා විසින් සිලෝන් ටයිම්ස් ඉංග්‍රීසි පත්‍රයේ අතිරේකයක් ලෙස පළ කිරීම ඔස්සේ ය. ලංකාවෙන් අතුරුදහන් වී යනු ඇති බවට පුරෝකථනය කරනු ලැබ තිබුණු බුදු සසුන විසි වැනි සියවස ඇරැඹෙන විට වඩවඩාත් බැබළෙමින් සිංහල බෞද්ධයන් දාර්ශනිකව පමණක් නොව දේශපාලනිකව ද ශක්තිමත් වී නව ජාතික පුනරුදයකට මාවත විවර කෙරුණේ පානදුරාවාදයෙන් ලද පන්නරය තුළිනි. බටහිර ගැති අධ්‍යාපන රාමුව තුළින් ශ්‍රී ලාංකිකයා තම සංස්කෘතික හර පද්ධතියෙන් වියුක්ත කිරීම ඔස්සේ යටත්විජිත පාලනයට සිය කැමැත්තෙන් නතු වන බටහිර ගැත්තකු බවට මානසිකව පත් කිරීමේ අධිරාජ්‍යවාදී උපාය මාර්ගික ප්‍රවේශය ද පානදුරාවාදයෙන් තීරණාත්මක ලෙස පරාජය විය. සිය පියා සමඟ පැමිණ පානදුරා වාදය නැරඹූ බව අනගාරික ධර්මපාලතුමන් පවසා තිබීමෙන් එතුමාගේ චින්තනය සකස් වීමට සහ පසුකාලීනව ධර්මපාල මෙහෙවරට පවා පානදුරාවාදයෙන් ලැබී ඇති මඟපෙන්වීම හා ජවය පිළිබිඹු කෙරෙයි. එතුවක් බලාපොරොත්තු රහිතව උදාසීනව සිටි සිංහල බෞද්ධයා ආත්ම විශ්වාසයෙන් යුතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදීමේ සටනට අවතීර්ණ වීමේ ආධ්‍යාත්මික අත්තිවාරම පානදුරාවාදයෙන් සැපයුණේ ඒ අයුරිනි.

දේශීය බෞද්ධ අධ්‍යාපන රටාව ද පානදුරාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැඟුණු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. පානදුරාවාදයේ වාර්තාව කියැවූ ඕල්කට්තුමාගේ ලංකාගමනය, බෞද්ධ පරම විඥානාර්ථය පිහිටුවනු ලැබීම හා ඒ ඔස්සේ බෞද්ධ පාසල් පද්ධතියක් බිහි වීම ඊට හේතු පාදක වන්නට ඇත. එහෙත්, හේතු කීපයක් නිසා මෙම මතය සම්බන්ධයෙන් ඇත්තේ විවාදාපන්න තත්ත්වයකි. පිරිවෙන් අධ්‍යාපනයට අමතරව බෞද්ධ පාසල් පද්ධතියක් පිහිටුවීමට පියවර තැබෙන්නේ පානදුරාවාදයට පෙර වීම ඉන් පළමුවැන්නයි. පානදුරේ බෞද්ධයන් විසින් උපාධ්‍යාය විද්‍යාලය ස්ථාපනය කරනු ලැබ තිබෙන්නේ සහ දොඩන්දූවේ ජිනලබ්ධි විශෝධක බෞද්ධ පාසල ආරම්භ කර තිබෙන්නේ පානදුරාවාදයට පූර්වගාමීව ය. ඒ අනුව, බෞද්ධ අධ්‍යාපන ප්‍රවර්ධනය පානදුරාවාදයේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වනවාට වඩා පානදුරාවාදයේ ජයග්‍රහණය බෞද්ධ ආධ්‍යාත්මය ශක්තිමත් කිරීමේ අධ්‍යාපන උපායමාර්ගික ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය යුතු බවට තර්ක කරනු ලැබිය හැකිය. දෙවැනුව, ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය නිසා ඊට පෙර ආරම්භ වී ප්‍රචලිත වෙමින් තුබූ ස්වදේශික රාමුවේ ජාතික අධ්‍යාපන රටාව වෙනුවට ආගමෙන් බෞද්ධ වූ නමුත් සංස්කෘතිකමය වශයෙන් තවදුරටත් බටහිර රාමුවේ පිහිටි සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගැන්වෙන අධ්‍යාපන ආකෘතියක් බිහි වූ බවත්, ඒ තුළ පානදුරාවාදයේ අධිරාජ්‍ය විරෝධී මතවාදීමය ජයග්‍රහණය ස්වදේශිකයන් තුළ, විශේෂයෙන් සිංහල බෞද්ධයන් තුළ, ජාතිකමය අධ්‍යාපනයක් ඔස්සේ කාවැද්දීම වළක්වනු ලැබූ බවත්, මහාචාර්ය නලින් ද සිල්වා මහතා වැනි විද්වතුන් විසින් දරන ලද මතය ද නොසලකා හැරිය නොහැක. සුද්දන් මේ රට අත හැර යන්නේ ඒ අයගේ හර පද්ධතීන් අගය කරන කළු සුද්දන් රැළක් බිහි කළ පසුව බවට අනගාරික ධර්මපාලතුමන් විසින් කර තිබෙන ප්‍රකාශයෙන් ඒ විකල්ප මතයට සහාය ලැබෙයි.

ස්වෛරිත්වය

පානදුරාවාදයේ ජාතික ස්වෛරීත්ව පැතිකඩ අදටත් ඉතා වැදගත් හා කාලීන බව පෙනී යන්නේ මේ පසුබිම දෙස විචක්ෂණශීලිව බලන විට දීය. විශ්වවිද්‍යාල පමණක් නොව පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය පවා යළිත් ඉංග්‍රීසි මාධ්‍යයට හැරවෙමින් පවතිද්දී ය. එසේ කළ යුතු බවට දේශපාලකයන් ඇතුළු විවිධ බලධාරීන් සහ ආයතනයන් හඬ නඟද්දී ය. සිංහල භාෂාවෙන් සාහිත්‍යයෙන් මෙන්ම ස්වදේශීක හර පද්ධතියෙන් සිය චින්තන පද්ධතිය හැඩගස්වා ගත් සිසු පරපුරක් වෙනුවට උපතේ පටන් ඉංග්‍රීසි තම ස්වභාවික වැහැරුම් බස කර ගත් අනාගත ශ්‍රී ලාංකික ප්‍රජාවක් බිහි වෙමින් යද්දී ය. සැහැල්ලු දිවි පැවැත්මෙන් සහ අණන සුඛයෙන් ශක්තිමත් වූවන් වෙනුවට අසීමිත ආශාවන්ගෙන් පෙලඹවෙන සහ ඒ ආශාවන් තෘප්ත කර ගැනීමට බටහිර න්‍යායන්ට අනුව අනුකාරකව හැසිරෙන්නන් ක්‍රමයෙන් වැඩි වෙද්දී ය. අපේ දේශයේ ආර්ථික ස්වෛරීත්වය විදේශ ණයට උකස් වී යද්දීත් අඩු මිලට ලැබෙන්නේ නම් ඒ උදෙසා ආනයන මත යැපුණ ද වරදක් නොදකින තරමේ මානසික වහල්භාවයක් සහිත පාරිභෝගික සමාජයක් ගොඩනැඟෙද්දී ය. කන්ද උඩරට රාජ්‍යත්වය බිඳීම පිණිස බ්‍රිතාන්‍ය උපායයන්ට අනුව නිර්මාණය වුණු ජන අරගල තුළින් මෙන්ම ලන්දේසි ගිවිසුමෙන් සහ උඩරට ගිවිසුමෙන් දේශයේ ස්වෛරීත්වයට එදා සිදුවුණු ව්‍යසනයන් පිළිබඳව උගත් පාඩම්වලට ප්‍රමාණවත් අවධානයක් වර්තමානයේ යොමු නොකෙරෙන බව පෙනී යද්දීය.

මේ ප්‍රවණතාවන් විමසන කල අලුත් ජාතික නිදහස් සටනක් අපට අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙයි. ජාතික ස්වෛරීත්වයට අගයක් දෙන ස්වදේශීකවාදි සියලු රටවැසියන් විසින් පානදුරාවාදයේ ජයග්‍රහණයේ සැබෑ අරුත වටහා ගත යුතුව ඇත්තේ ඒ නිසා ය. මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇති බව පෙනෙන ජාතික ස්වෛරීත්වවාදී චින්තනමය විප්ලවය සාක්ෂාත් කරගත හැකි වනු ඇත්තේ එසේ කළහොත් පමණි.

මහචාර්ය ලලිතසිරි ගුණරුවන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT