Wednesday, March 26, 2025
Home » සිහින නෙළුම් මල් කියන්නේ පවුලේ හැමෝටම බලන්න හදපු එකක්

සිහින නෙළුම් මල් කියන්නේ පවුලේ හැමෝටම බලන්න හදපු එකක්

අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න

by mahesh
August 23, 2024 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

ශමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටය අද ( 23) සිට රිත්මා මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිසි ශමීර ඊට වසර 8කට පමණ පසුව කළ මේ නිර්මාණය ගැන ඔහු සමඟ කෙටි කතාබහකට පිවිසෙමු.

ශමීර “මෝටර් බයිසිකල්” හරහා සිනමාවට ආ ගමන ගැන අද වෙනකොට කොහොමද දැනෙන්නේ ?

මං හිතන්නේ, ඒක ප්‍රේක්ෂකයා තමයි තීරණය කරන්න ඕනෑ. අද මං ඉන්නේ කොතැනද කියලා. හැබැයි, මෝටර් බයිසිකල් කියන්නේ සම්මාන දිනා ගත් වෙනමම ශානරයක චිත්‍රපටයක්. ඒත්, සිහින නෙළුම් මල් ඊට වඩා වෙනස්නේ. ජීවිතයම සුවඳ කරන සිහින නෙළුම් මල් කියලා අපි මේ චිත්‍රපටය ගැන ප්‍රචාරණයේදී තේමා පාඨයකුත් යොදා ගත්තා. ඉතින්, මේ පවුලේ හැමෝටම බලන්න හදපු එකක්. අනෙක, අද සමාජයේ මේ වගේ සිදුවීම් බහුලයි. ඒ ඇසුරින් මං මේ නිර්මාණය කළේ. කෙටියෙන් කියනවා නම්, මං නිර්මාණකරුවෙක් විදියට එකම මාදිලියේ දෙයකට කොටු වෙලා නැහැ. එහෙම වෙන්න මං කැමතිත් නැහැ. මමත් හරියට කෝකියෙක් වගේ, කෝකියෙක් එක එක විදියේ කෑමනේ හදන්නේ. නිර්මාණකරණයේදී නිර්මාණකරුවාත් ඒ වගේ තමයි. විවිධ අත්දැකීම් ප්‍රේක්ෂකයාට ගෙන දෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේ, ඒ ගමනේ තව එක තැනක්. තවත් එක නිර්මාණයක්.

හැබැයි, මෙහි තිර පිටපත රචනයේදී වෙනත් චිත්‍රපටිවලින් ආභාසය ලැබුවාද ?

කොහෙත්ම නැහැ. මං වෙනත් කිසිම චිත්‍රපටයකින් ආභාසය ලබා නැහැ. මේ අද සමාජයේ සුලබ ප්‍රශ්නයක්නේ, මං ඒ නිතර අහන්නට දකින්නට ලැබෙන කාරණය දිහෑ නිර්මාණශීලීව බැලූ විදියක් තමයි සිහින නෙළුම් මල් කියන්නේ. මං මේ වතාවේ කළ නිර්මාණයත් නරඹන්න එන්න කියලායි මං ප්‍රේක්ෂකයාගෙන් ඉල්ලන්නේ. ඉතින්, මං බොහොම කැමතියි මෝටර් සයිකල් චිත්‍රපටයේදී වගේ මට මේ චිත්‍රපටය නැරඹීමෙන් පසුවත් ප්‍රේක්ෂකයා අදහස් දක්වනවානම්, ඒක මගේ ඉදිරි නිර්මාණවලදී මට ඉතා වැදගත්.

ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහිදී දක්නට ලැබෙනවා. එයින් අදහස් කළේ වැඩි ජනප්‍රියතාව ද ?

ඒක එහෙමමයි කියන්න බැහැනේ. හේමාල් රණසිංහ මෙහි රංගනයේ යෙදෙනවා. ඔහු ඇතුළු අද වන විට ජනප්‍රිය නළු නිළියන් රඟපෑ පළියට ජනප්‍රිය වෙයි කියලා මං හිතන්නේ නැහැ. හැබැයි, එයින් චිත්‍රපටයකට යම් ආලෝකයක් නම් ලැබෙනවා.

මේ ඇතුළේ, යෞවනය, කාන්තාව, මවුපියන්, මතිමතාන්තර ආදී විවිධ පැතිවලින් ජීවිතය කතා කරනවා. ඒ සමඟම මේ කතාව දිවෙන්නේ, අපි කවුරුත් කටුක අත්දැකීම් විඳි, ඉකුත් කාල සීමාවක් පදනම් කරගෙනයි. ඒ හා බැඳුණු සමාජ, ආර්ථික, දේශපාලන කාරණාත් මේ සමඟ බැඳී තියෙනවා. ඉතින්, එතැනින් නැවත නළු නිළියන් දෙසට හැරුණොත්, දුෂේනි සිල්වා, උමාලි තිලකරත්න, කලණ ගුණසේකර, මයුර කාංචන, වීණා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, දයාදේව එදිරිසිංහ, ලාල් කුලරත්න ඇතුළු ජනප්‍රිය හා දක්ෂ නිර්මාණකරුවන් මෙහිදී රංගනයෙන් දායක වෙනවා. මෝටර් බයිසිකල් චිත්‍රපටයේදී වගේම විශ්වජිත් කරුණාරත්න මෙවරත් මට කැමරාකරණයෙන් සහාය දී තියෙනවා. ඉතින් එහෙමයි.

තාක්ෂණ දායකත්වය, නිර්මාණ සහාය ගැනත් කියමුද?

කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගේ. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙන්, සහාය අධ්‍යක්ෂණය දමින්ද ඩී. මඩවල, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන් එක් වෙනවා. වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍රගේ. අංග රචනා ශිල්පී, බුවනෙක රණවක, කලා අධ්‍යක්ෂවරයා ධම්මික හේවාදුවත්ත, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චිගෙන්. ඇඳුම් නිර්මාණය කළේ මාධවී දසනායක. ගීත ගායනයෙන් එක් වන්නේ, ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා, අශේකා කුලතුංග දායක වෙනවා. නිශ්චල ඡායාරූපකරණය අමාල් රෝස්. සිහින නෙළුම් මල්, වරුණ අරඹගේ නිෂ්පාදනයක්.

ඔබට තවදුරටත් ප්‍රේක්ෂකයාට කියන්න දෙයක් තියෙනවාද?

ඔව්. අද සිට සිහින නෙළුම් මල් දිවයින පුරා සිනමාහල් 60කදී ප්‍රදර්ශනය අරඹනවා. ඉතින්, පවුලේ හැමෝටම එකට ඉඳන්, දැනුම, අවබෝධය සමඟ වින්දනය නොඅඩුව විඳ ගන්න මේ චිත්‍රපටය නරඹන්න එන්නැයි මං ආරාධනා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT