Saturday, April 5, 2025
Home » ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල්කරණය වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල්කරණය වෙයි

by chanaka
August 23, 2024 3:06 pm 0 comment

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (22) පැවති තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමිනි.

“දේශයේ අනාගතය කේතකරණය” යන තේමාව යටතේ මෙම හමුව සංවිධානය කර තිබු අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිර්මාණය කර ඇති “පෙපර්” නම් රොබෝවකු විසින් හමුව සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයකි.

මෙම හමුවේ ප්‍රධාන දේශනය ලෝක බැංකුවේ ඩිජිටල් සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සිද්ධාර්ථ රාජා මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:
“ශ්‍රී ලංකාව අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි. 21 වන සියවසේ මුල් භාගයේ හෝ මැද භාගයේ දී මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපට තාක්ෂණය අවශ්‍ය වෙනවා.

වර්තමාන ලෝකයේ, ව්‍යාපාරයකට හෝ රටකට දියුණුව සඳහා තාක්ෂණය අත්‍යවශ්‍යයි. අප එය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ආසියාවේ ප්‍රමුඛයා වීමේ අරමුණින් අපේ ආර්ථිකයේ මූලික අංගයක් ලෙස “තාක්ෂණය” එක් කර ගැනීමට අප තීරණය කර තිබෙනවා.

මීට අමතරව, කෘෂිකර්මය වැනි නවීකරණයක් අවශ්‍ය ක්ෂේත්‍ර ද අප හඳුනා ගෙන තිබෙනවා. මෙරට තුළ අක්කර මිලියන ගණනක් පුරා සිදු කරන යැපුම් කෘෂිකර්මාන්තයක් ඇති අතර තවත් අක්කර 300,000 ක් පමණ වගා කිරීමේ හැකියාව ද පවතිනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමෙන් සහ තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් ආහාර අපනයනය කරන රටක් බවට අපට පත්විය හැකියි. එසේම සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ අපගේ පුළුල් ඩිජිටල් ආර්ථිකය තුළ ද තාක්ෂණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

අපගේ වත්මන් ආර්ථික ක්‍රමය තුළ ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබෙනවා. ඒ ඩිජිටල්කරණය සහ හරිත ආර්ථිකයයි. මේ දෙකම එකට අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම පරිවර්තනය ආරම්භ කරන්නේ කෙසේද සහ මෙතැනින් යා යුත්තේ කොතැනටද කියා අප අවධානය යොමු කළ යුතුයි. විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ පෙර පැවති රජයේ ප්‍රතිපත්තිය වූයේ, සීමිත ප්‍රතිඵල සහිත රජය විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කිරීමයි. අප මෙම ප්‍රවේශයෙන් ඉවත් වී වෙළඳපොළ මත පදනම් වූ සහ පුද්ගලික අංශය විසින් මෙහෙයවන වැඩසටහනක ගමන් කරමින් සිටිනවා. ජාතික විද්‍යා පදනම හරහා ශුද්ධ විද්‍යාවන්හි පර්යේෂණ සඳහා රජය සහාය වන අතර පර්යේෂණ අරමුදල් ද වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරනවා. වාණිජමය වශයෙන් මෙහෙයවන පර්යේෂණ සඳහා, අලුතින් පිහිටුවන ලද කවුන්සිලය මඟින් වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති සඳහා අරමුදල් සහ සහාය ලබා දෙනවා. මේ අතර ඇතිකරගන්නා සහයෝගීතාවය තුළින් සාර්ථකත්වයක් හිමිවනවා.
මීට අමතරව, ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වූ මධ්‍යස්ථානය මගින් තාක්‍ෂණික දියුණුව සඳහා පවතින ප්‍රධාන භූමිකාවන් ඉටු කරනවා. කෙසේ වෙතත්, මෙහිදී රජයේ මූලික වගකීම වන්නේ යටිතල පහසුකම් සැපයීම, නීති පැනවීම සහ රට තුළ අවශ්‍ය මානව සම්පත ඇති කිරීමයි.

ඇතැම් පිරිස් විදේශගත වෙනවා. නමුත් අප විසින් වැඩි වැටුප් සහිත නව රැකියා අවස්ථා බිහි කරමින් වැඩි ප්‍රමාණයක් රට තුළ රඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම නිපුණතා ඇති දක්ෂයින් බිහි කිරීමට අප අවධානය යොමු කළ යුතුයි.

2030 සහ 2040 වසර සඳහා පාසල් අධ්‍යාපනය සූදානම් කිරීම වෙනුවෙන් අප පාසල් නවීකරණය කළ යුතු අතර, ඒ සඳහා යම් කාලයක් ගතවනවා. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා වෘත්තීය නිපුණතා නියෝජිතායතනය යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ ආයතන ඒකාබද්ධ කරමින් වෘත්තීය අධ්‍යාපනය විප්ලවීය ලෙස ප්‍රතිසංවිධානය වෙමින් පවතිනවා. රැකියා ඉලක්ක කරගත් “ආශ්‍රිත උපාධි” පිරිනැමීම, පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කිරීම සහ නිසි ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා අවසර ලබාදීම පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල පිහිටුවීමට ද අප බලාපොරොත්තු වෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ත්‍යාගයක් ලෙස මහනුවර ගලහ ප්‍රෙද්ශයේ චෙන්නායි IIT හි මණ්ඩපයක් පිහිටුවීමට මෙන්ම කුරුණෑගල, සීතාවක සහ සියනෑ යන නව තාක්ෂණ විශ්වවිද්‍යාල ඇතුළු නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමටත් රජය කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

යටිතල පහසුකම් සහ දක්ෂතා සමඟ, අපට නවෝත්පාදන සඳහා අරමුදල් ලබාදෙමින් එම අංශය පුළුල් කළ හැකියි. පවතින ක්‍රමවේදය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා, සාර්ථකභාවය තහවුරු කර ඇති ක්‍රම අනුගමනය කරමින් අපගේ ප්‍රගතිය වේගවත් කරමින්, ඉන්දියාවේ සහායද ලබා ගනිමින් අපේ රට ද ගොඩනැඟීමට අප සැලසුම් කරනවා.

දැනට ඩොලර් බිලියන 85 ක් වන මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා අප විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් දැක්මෙහි කොටසක් ලෙස ඩොලර් බිලියන 15 ක වටිනාකමින් යුතු ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම අපගේ ඉලක්කයයි. මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට, මෙරට ඩොලර් බිලියන 350 ක ආර්ථිකයක් හෝ ඊට වැඩි ආර්ථිකයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි. අප ස්ථානගතව සිටින්නේ තාක්ෂණික වශයෙන් දියුණු ප්‍රාන්ත කිහිපයක් පවතින දකුණු ඉන්දියාව ආසන්නයේ යි. අපි මෙම සමීපත්වය ප්‍රයෝජනයට ගෙන එක්ව ඉදිරියට යා යුතුයි.

අප වර්තමානය තුළ ජීවත් විය යුතු අතර තාක්ෂණය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. විවිධ ක්ෂේත්‍රවල, ප්‍රමුඛයන් වීමට හෝ අවම වශයෙන් ඉදිරියෙන් සිටින්නන් වීමට අප උත්සාහ කළ යුතුයි. ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අප සියලුදෙනා එක්ව ගමන් කළ යුතු අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔබ සියලුදෙනා සමඟ ද එක්ව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා

“අපට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ අඛණ්ඩ සහාය අවශ්‍යයි. රජය සැමවිටම ඔබ සමඟ සමීපව කටයුතු කර තිබෙනවා. එමනිසා මෙම ක්ෂේත්‍රයේ අඛණ්ඩ දියුණුවක් සහතික කිරීම වෙනුවෙන් ඔබ අප සමඟ සිටිනු ඇතැයි මම විශ්වාස කරනවා.

අපගේ ඩිජිටල් උපායමාර්ගික වැඩපිළිවෙල දැනටමත් ජාතික ජනබලවේගය විසින් අනුකරණය කර තිබෙනවා. නමුත් සමගි ජනබලවේගයේ ඩිජිටල් ප්‍රතිපත්තිය ඉන්දියාවේ “ස්ටැක්” තාක්ෂණික ප්‍රවේශයේ සෘජු අනුකරණයක් වෙනවා. මෙහි දිරිගන්වන සුළු කරුණ වන්නේ ජනාධිපතිවරයාගේ දැක්ම අනුව ගමන් කිරීමට අනෙකුත් පක්ෂ ද උත්සාහ කිරීමයි. මෙය රටට සාධනීය ලකුණක් වන අතර නුදුරේදීම අප එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ඔවුන් සම්පූර්ණ පනතම කියවා ඒ සඳහා සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයෙහි (SLASSCOM) සභාපති නිෂාන් මෙන්ඩිස්, බීසීඑස් තොරතුරු තාක්ෂණ ආයතනයේ විධායක සාමාජික ඉම්රාන් විල්කාසීම්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනෙයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා, සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති හේෂාන් සමරතුංග යන මහත්වරුන් සමඟ සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණු විශේෂ සාකච්ඡා සභාවක් ද පැවැත්වුණු අතර එහිදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

එහිදී නැඟුණ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර මෙසේය,

ප්‍රශ්නය
මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලික උපාධිය හදාරන වයස 17ක ශිෂ්‍යයෙක්. අපට ශ්‍රී ලංකාවේදීම කෘත්‍රිම බුද්ධි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරිය නොහැකිවීම පිළිබඳ මගේ මිතුරන් ප්‍රශ්න කරනවා. එමනිසා නව ලෝකයට ගැලපෙන පරිදි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වන්නේ කවදාද?

පිළිතුර
අප 2050 වසරට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. අප එය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා වසර 10ක් පමණ ගත විය හැකියි. නමුත් එහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ වසර 10ක් බලා සිටිය යුතු බවක් ඉන් අදහස් වන්නේ නැහැ. එමනිසා අප පාසල්වල උසස්පෙළ ශ්‍රේණිය, වෘත්තීය පුහුණුව, තෘතීයික අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ පළමුවෙන්ම අවධානය යොමු කර එතැන් සිට පහළට පැමිණෙන ආකාරයෙන් මෙම කටයුතු අප සිදුකරමින් පවතිනවා.
අපට අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින සම්පත් සීමිතයි. එමනිසා වැඩි වැඩියෙන් දේශීය හෝ විදේශිය වශයෙන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මේ සඳහා ඉදිරිපත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ සිට මෙම වෙනස්කම් ආරම්භ වෙනවා. නමුත් ගුරුවරුන් පුහුණු කිරීම, ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දීම ආදී කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගතවෙනවා.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, රජය විසින් මැතිවරණ කටයුතු සඳහා විශාල මුදලක් වියදම් කරනවා. ඔබතුමාගේ නායකත්වය යටතේ මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කළ හැකිද?

පිළිතුර
එය සිදු කළ යුතුයි. මේ පිළිබඳ අප ඒ වෙනුවෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ සහිත වාර්තාව ලැබී තිබෙනවා. එම නිර්දේශ අනුව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ඩිජිටල් ක්‍රමය යටතේ පලාත් පාලන මැතිවරණය පවත්වා අත්හදා බැලීමක් සිදු කිරීමෙන් අනතුරු අපට ජාතික මැතිවරණයක් සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය යොදාගත හැකියි.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ආයෝජකයින් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT