Home » ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට 24% සිට 50%ට වැඩි දැවැන්ත වැටුප් වැඩිවීමක්

ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට 24% සිට 50%ට වැඩි දැවැන්ත වැටුප් වැඩිවීමක්

by mahesh
August 23, 2024 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

– අවම වැටුප දීමනාත් සමඟ රුපියල් 55,000ක්
– වැටුප් විෂමතා පිළිබඳ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති

රාජ්‍ය සේවකයන් සඳහා සියයට 24 සිට සියයට 50ට වැඩි ආකර්ෂණීය වැටුප් වර්ධකයක් ලබන වසරේ සිට ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසීය.

දැනට රුපියල් 24,250ක් වන රාජ්‍ය සේවයේ අවම වැටුප, වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව රුපියල් 30,000ක් වන බවත් එම වැටුපට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ද එකතුව රාජ්‍ය සේවාවේ අවම වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ නංවන බවත් ඒ මහතා පැවසුවේය.

ඉදිරියේදී කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් එම වැටුප් තලයන් රාජ්‍ය සේවකයන්ට ලබාදීම බලයට පැමිණෙන ආණ්ඩුවේ වගකීමක් යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (22) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේ ද පැවසුවේය.

පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කර ගනිමින් වැටුප් වර්ධකයන් ඉහළ නැංවිය යුතුයි. වර්තමානයේ පවතින මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය සියයට 24කින් හා ඊට අනුරූපීව සියලු රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා සියයට 24 සිට සියයට 50ට වැඩි ප්‍රමාණයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නංවනවා. සියලු රාජ්‍ය සේවකයන් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000 බැගින් ලබා දීමට ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ නැංවෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා රාජ්‍ය සේවය ඉමහත් කාර්යභාරයක් ඉටු කරන අතර එය සංවර්ධනයේ ගාමක බලවේගය ද වෙනවා. වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියලු අභියෝග ජය ගැනීම සඳහා සිදු කළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර, රාජ්‍ය සේවකයන් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද ජනතාවට විශිෂ්ට සේවයක් ද ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. ගාමක බලවේගය බවට පත් කිරීම සඳහා පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කර තිබෙනවා.

විශ්‍රාමිකයන් සඳහා ද 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500 බැගින් ලබාදීමටත් 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමටත් ක්‍රියා කරනවා. එමෙන්ම පවතින රාජ්‍ය මූල්‍ය විභවතාව මත අදියරගතව සුදුසු පරිදි ප්‍රතිලාභ සලසා දීමට 2025 අය-වැය මඟින් ක්‍රියා කරනවා. රාජ්‍ය සේවයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ට මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් 2025 වසරේදී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදු කර නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එමඟින් අවශ්‍යතාව පරිදි රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව පිළිබඳ නිසි තක්සේරුවක් සිදු කරනවා.

රාජ්‍ය සේවකයන් සඳහා නිසි කාර්යසාධන දර්ශක (KPI) හඳුන්වා දී එම කාර්යසාධනය ඉටු කිරීමේ ප්‍රගතිය මත වාර්ෂික වැටුප් වර්ධක ලබා දීමේ ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි. එසේම ඔවුන්ගේ කාර්යසාධනය මත දිරිගැන්වීම් හා මූල්‍ය නොවන අනෙකුත් වරප්‍රසාද ලබාදීමේ ක්‍රමවේදයන් ද හඳුන්වා දෙනවා.

වර්තමානයේ හඳුන්වා දී ඇති රාජ්‍ය බදු ප්‍රතිපත්තිය තුළම බදු ගෙවන්නන් හට විශිෂ්ට රාජ්‍ය සේවයක් හිමි කරදෙන ගුණාත්මක රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා. ඒ සඳහා ප්‍රශස්ථ පරිමාණයෙන් යුතු රාජ්‍ය යන්ත්‍රණයක් සකස් කර ගැනීමට කටයුතු කරනවා. දස ලක්ෂය නොඉක්ම වූ රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත වන පරිදි ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) පාදක කර ගනිමින් තරගකාරී බඳවා ගැනීමේ ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය සේවය සඳහා සේවකයන් බඳවා ගන්නා ක්‍රමය ස්ථාපිත කරනවා. එමඟින් සුදුස්සාට සුදුසු තැන හිමි කරදෙන යුගයක් බිහි කිරීමට අප කටයුතු කරනවා.

විශේෂයෙන් 2025 වසරේ සිට ඉදිරි තෙවසර තුළ ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රියකරණය (Automation) සඳහා ප්‍රමුඛත්වය දෙමින් හැකි සෑම අංශයකම රාජ්‍ය සේවාව තුළට තාක්ෂණය හඳුන්වා දෙමින් ඊ – රාජ්‍ය සේවාකරණය (E-Governance) සඳහා රජයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහනට ප්‍රමුඛත්වය දීම සිදු කරනවා. රාජ්‍ය ආදායම් උත්පාදන ආයතන හා මහජන සේවාවන් සලසන ආයතනවල කාර්යසාධනය සඳහා මූලිකත්වය ලබා දෙමින් ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට රජයේ අමාත්‍යාංශ හා සියලු රාජ්‍ය ආයතන සඳහා ඊ-රාජ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම තුළින් විශිෂ්ට රාජ්‍ය සේවාවක් ඉටු කිරීමට ප්‍රමුඛත්වය දීමට නියමිතයි.

මෙම අවස්ථාවට වැඩබලන මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා ද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT