හොර ඌරන් මිලදී ගෙන සබන් ගා නාවා / ගේ ඇතුළේ ඇති කළ අයෙක් අත්අඩංගුවට
, හෙට්ටිමුල්ල තලේවල ප්‍රදේශයේ ඌරන් කොටුවක අතුරුදන්ව සිටි ඌරන් හත් දෙනකුගෙන් දෙදෙනෙක් පෙරේදා (19) බුලත්කොහුපිටිය පොලිස් වසමේ උඳුගොඩ පාරඹේ ප්‍රදේශයේ නිවෙසක සුරතලයට ඇති දැඩි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.
පොලිසිය කියා සිටියේ, කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට අයත් විශාල ඌරු කොටුවක් කෑගල්ල, හෙට්ටිමුල්ල, තලේවල ප්‍රදේශයේ ඇති බවත්, එම ඌරු කොටුවේ සේවයට පස් දෙනකු යොදවා ඇති බවත්ය. ඌරන් කොටුවේ හිමිකරු තම කොටුවේ ඌරන් අඩු බවටත්, අඩු ප්‍රමාණය නිශ්චිතව සඳහන් කළ නොහැකි බවටත් දන්වා කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ඉකුත් ජනවාරි මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බවත් පොලිසිය කියා සිටියේය. ඔවුන් තවදුරටත් කියා සිටියේ, පැමිණිල්ලට අනුව ඌරන් දෙදෙනකු බුලත්කොහුපිටිය පොලිස් වසමේ උඳුගොඩ, පාරඹේ ප්‍රදේශයේ නිවෙසක සුරතලයට ඇති දැඩි කරන බවට ලද තොරතුරකට අනුව පෙරේදා (19) පොලිස් කණ්ඩායමක් අදාළ නිවෙසට ගිය බවත්, නිවෙසට පොලිසිය යන අවස්ථාවේ ඌරන් දෙදෙනාව නිවැසියන් සබන් ගා නාවා කෑම බීම දී සුරතලයට ඇති කරමින් සිටි බවත්ය.
පසුව පැමිණිලිකරු ඌරන් දෙදෙනා තමන්ගේ බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඌරන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඌරන් දෙදෙනා මිලට ගෙන සිටි පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඌරු කොටුවේ සේවය කරන සේවකයකුගේ පුතකු ඌරන් සොරකම් කර තැන් තැන්වලට එක් සතෙක් රුපියල් 1,000 බැගින් අලෙවි කර ඇති බවත්, අත්අඩංගුවට ගත් ඌරන් දෙදෙනා ද රුපියල් 1,000 බැගින් පාරඹේ ප්‍රදේශයට අලෙවි කර ඇති බවත් පොලිසිය කීය. සේවකයාගේ පුතා යැයි කියන සැකකරු දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, ඌරන් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේදී සැකකරුගේ මව කඳුළු සලමින් ඌරන් දෙදෙනා දරුවන් සේ නිවෙස ඇතුළත හැදුණු බවත්, රැගෙන නොයන ලෙසත් දන්වා තිබේ. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ, තවත් ඌරන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට ඇති බවයි.
කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ජයසිංහ, පොලිස් සැරයන් මාරසිංහ (48683), පොලිස් කොස්තාපල් නිශාන්ත (95223) යන නිලධාරීන් කණ්ඩායම වැටලීම සිදු කර තිබුණි.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්