බද්දේගම දිසා රෝහලේ ගොඩනැඟිලි පහසුකම් නොමැතිකම හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් කරා රැගෙන යෑමට සිදුව ඇති බවත්, වසර සියයකට වඩා පැරණි ගොඩනැඟිල්ලක බාහිර රෝගී අංශය හැර සෙසු ඒකක වන, භික්ෂු වාට්ටුව, හදිසි ප්‍රතිකාර ඒකකය, පිරිමි සහ ගැහැනු වාට්ටු, කාර්යාලය ගැබිනි වාට්ටුව ඇතුළු සියලුම ඒකක පවත්වාගෙන යෑමේදී පහසුකම් නොමැතිවීමෙන් රෝගීන්ට සහ සේවක පිරිසට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවත් ජනතාව පෙන්වා දෙති.
ඔවුන් පවසන්නේ, ප්‍රදේශ රැසකින් දිනකට රෝගීන් විශාල ප්‍රමාණයක් සායන සඳහා පැමිණෙන නමුත් ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් මෙම රෝහල තුළ නොපවතින බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රෝහල් බලධාරියකු සඳහන් කළේ, මෙම රෝහලට ප්‍රදේශ රැසකින් දිනකට විශාල රෝගීන් ප්‍රමාණයක් පැමිණෙන අතර, ගොඩනැඟිලි පහසුකම් පවා නොමැති වටපිටාවක එම සියලු අඩුපාඩු මැද තමන් ඇතුළු කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් සියලු ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, දැනට තිබෙන මෙම රෝහල් භූමියට යාබදව පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් රෝහල් ගොඩනැඟිලි ඉදිකිරීමට පරිත්‍යාග කොට ඇති නමුත්, මීට වසර දෙකහමාරකට පෙර එම ඉඩම් මැන කැලය කපා පිරිසුදු කරමින් ගොඩනැඟිලි ඉදිකිරීමට සැලැස්මක් සකස් කළද රටේ ආර්ථික තත්ත්වය අනුව එය අතරමඟ නතර වුණු බවයි. මේ වන විට රෝහල සතු ගොඩනැඟිලි ඉතාම පැරණි අවම පහසුකම් සහිත ඒවා බව තමන් පිළිගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසී විශ්‍රාමිකයකු වන ලයනල් එදිරිසිංහ මහතා කියා සිටියේ, Òදෙල්ගහවත්ත මුණසිංහ හාමු මහත්තය ජීවත්ව සිටියදී රෝහලට යාබදව අක්කර දෙකහමාරක් රෝහලට පරිත්‍යාග කොට තව අක්කර දෙකක් කැබලි කොට විකුණුවා. ඒ ඉඩම් කැබැල්ලක තමයි මමත් නිවෙස හදාගෙන පදිංචි වෙලා ඉන්නේ. එතුමා පරිත්‍යාග කළ ඉඩමේ රෝහලට අවශ්‍ය ගොඩනැඟිලි හදන්න පුළුවන්. ඒත් දැන් මේ ඉඩම කැලෑ වෙලා. ඒක අපටත් විශාල කරදරයක්. රෝහල වැඩිදියුණු කරන්න නිලධාරීන් උත්සාහ කළත් අදාළ බලධාරීන්ගේ සහාය නොමැතිකමින් ඒ වැඩත් නතර වෙලා.Ó යැයි කියාය.
රියැදුරකු වන කිර්ති අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, රෝහලට පිවිසෙන ස්ථානයේ රාත්‍රී කාලයට දැඩි අඳුරක් පවතින අතර, එම ස්ථානයේ ඇති විදුලි කණුවේ ලාම්පුව මාස ගාණක සිට නොදැල්වෙන බවයි. එමෙන්ම එම කණුව දිරාපත්ව කොයි මොහොතක හෝ රෝගියකුගේ ඇඟ මතට කඩා වැටෙතැයි බියක් පවතින බවත්, රෝහල් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු විසඳුමක් දී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
බද්දේගම මධ්‍යම විශේෂ – ජස්ටින් පතිරගේ