Wednesday, April 23, 2025
Home » සැබෑ දමිළ ජන හඬ මැතිසබේ රැව් දෙනදවස කඩිනමින් උදා කරගත යුතුයි

සැබෑ දමිළ ජන හඬ මැතිසබේ රැව් දෙනදවස කඩිනමින් උදා කරගත යුතුයි

-ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ

by sachintha
August 21, 2024 1:55 am 0 comment

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳදමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදා කරගත යුතු බව සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මේ බව සදහන් කළේ ජනාධිපතිවරණයට තරුව ලකුණින් ඉදිරිපත්ව සිටින සර්ව ජන බලය අපේක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති ජනරැලිය අමතමිනි.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා:

“අපේ ලකුණ ජනතාවට මඟ පෙන්වූ ලකුණක්. ඉදිරියේදී උතුර, දකුණ, නැඟෙනහිර, වතුකරය ඇතුළු මේ රටේ සෑම තැනකම සිංහල, දමිළ, මුස්ලිම් සකල ජනීජනයාට මඟ පෙන්වන ලකුණ වන්නේද ‘තරුව’යි. ඒ වගේම දිලිත් ජයවීර සහෝදරයා ජනාධිපතිවරයා බවට පත් කරන ජයග්‍රහණය අප ලබන්නේද තරු ලකුණෙනුයි.

“දැන් පාර්ලිමේන්තුවේ සිටින, ඔබ පත් කර යැවූ මහජන නියෝජිතයන් යාපනයේදී හමු වෙලා ඔබගේ ප්‍රශ්නයක් කතා කිරීමට පුළුවන්ද? ඔවුන් ඔබට මඟතොටේදී දැකගන්න පුළුවන්ද? අපි දකුණේ මහජන නියෝජිතයන් විදිහට අවම වශයෙන් මසකට වතාවක්වත් මහජන හමුවීම් පැවැත්විය යුතුයි. මහජනයා ඒවාට පැමිණ, ඔවුන්ගේ දුක්ගැනවිල්ල අපට කියනවා. අප ඒවාට ඇහුම්කන් දීලා විසඳිය හැකි සියල්ල විසඳනවා. එහෙම නොවන දකුණේ මහජන නියෝජිතයන්ට කවර පක්ෂයේ වුවත් ඊළඟ වතාවේ ගෙදර යන්න වෙනවා. ඒත් ‘සිංහල දමිළ ජනතාව ඇනකොටාගත යුතුයි’ කියා හැමදාම පවසන සුමන්තිරන් ඇතුළු ලේ පිපාසිත පිරිස ඡන්දයෙන් පසුව ඔබව හමු වීමට එනවාද? ඔබට ඔවුන් හමු වීමට පුළුවන්ද? විග්නේශ්වරන් මහත්තයා ගැන මීට කලිනුත් අදහස් දැක්වූ අය කතා කළා. දශක ගණනාවක් තිස්සේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබපු, විශ්‍රාම වැටුප් ලබපු විග්නේශ්වරන් මහත්තයෝ, ඔබ මේ කතා කරන්නේ කවර ‘ස්වයං පාලනයක්’ ගැනද?”

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT