Wednesday, April 23, 2025
Home » රට ගොඩදැමූ නායකයාට විරුද්ධ වීමට පොහොට්ටුවට සදාචාර අයිතියක් නෑ

රට ගොඩදැමූ නායකයාට විරුද්ධ වීමට පොහොට්ටුවට සදාචාර අයිතියක් නෑ

-ඇමැති ප්‍රසන්න රණතුංග

by sachintha
August 21, 2024 1:54 am 0 comment

prasanna sl

රට ගොඩදැමූ නායකයාට විරුද්ධ වීමට පොහොට්ටුවට සදාචාරත්මක අයිතියක් නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට නිකවැරටිය මහසෙන් ප්‍රවාහන සමුපකාර සමිති සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (19) එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වේදිකාවට ගොඩ වුණාම හැමෝම අහනවා: ඔබ නියෝජනය කරන්නේ කුමන පක්ෂයද කියලා. අප නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අප ඒ පක්ෂයෙන් අයින් වෙලා නෑ. මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කරමු යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉන්නවා. සමහරු අහනවා පක්ෂයෙන් ඉවත් කළොත් මොකක්ද කරන්නේ කියලා. ඒ සම්බන්ධවත් අපි වැඩපිළිවෙළක් නිර්මාණය කර අවසන්. ඒ වෙනුවෙන් අපි සන්ධානයක් හා වෙනම පක්ෂයකුත් නිර්මාණය කර අවසන්.

“මිනිස්සු අපට බලය දුන්නාට අපේ නායකයන් අපව රැකගත්තාද කියලා ගැටලුවක් තියෙනවා. අපි 2022 මැයි 9 වැනිදා පොහොට්ටුවේ ප්‍රබලයන් කීප දෙනෙක් එක්ව අපේ පාක්ෂිකයින්ට අරලියගහ මන්දිරයට එන්න කිවුවා. පීඩනයට පත්ව ඉන්න මිනිස්සු තවත් පීඩාවට පත් නොකර, ඔය දේ කරන්න එපා කියලා මම විරුද්ධ වුණා. උදේ පාන්දර මම මහින්ද මහත්තයා ළඟට ගිහින් කිවුවා ඔය දේ කරන්න එපා කියලා. එදා කළේ අනවශ්‍ය වැඩක්. එදා මොකද වුණේ? අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. ලජ්ජාවට පත් වුණා. ගෙවල් ගිනි තිබ්බා. මිනිස්සු මැරුණා. එදා අපේ නායකයෝ පැනලා ගියා. රට භාර ගන්න කෙනෙක් හිටියේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ වෙලාවේ අපේ නායකයන් මේ රට භාර දුන්නා. අප නොවෙයි භාර දුන්නේ; රාජපක්ෂ පවුලයි. ඒ භාර දී අවුරුදු දෙකහමාරක් ගිහින් ජනාධිපතිවරණය එන කොට මේ රට ගොඩදාපු නායකයා එපා කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ. පොහොට්ටුව ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට පාරට බැහැලා දේශපාලනය කරන්න පුළුවන් පරිසරය හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි.”

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අසංක නවරත්න, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන්, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, උප සභාපතිවරුන්, විපක්ෂ නායකවරුන් හා පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT