Wednesday, April 23, 2025
Home » ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුණ ලකුණක්

ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුණ ලකුණක්

-පා.ම. ඉෂාක් රහුමාන්

by sachintha
August 21, 2024 1:48 am 0 comment

ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබෙන ලකුණක් බවත්, තරුණයන් භාර ගන්න බෑ කියා පැන යද්දි අවුරුදු හැත්තෑවකට වඩා වයස මනුස්සයා මේ රට භාර ගත් බවත් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා:

“මේක රට ආරක්ෂා කරන, රටේ ආර්ථිකය ආරක්ෂාව කරන මැතිවරණයක් බවට පත් කරගත යුතුයි. මේ මැතිවරණයේදී අප රට සහ අප වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතුයි. තමන්ගේ මන්ත්‍රී ධුරය පාර්ලිමේන්තුව ඇතු‍ළේ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක විතරයි දැන් දේශපාලන පක්ෂ කල්පනා කරන්නේ. දේශපාලන වාසි වෙනුවෙන් රටේ ජනතාව පාරට ඇදදමන්න කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒක මේ රටේම අභාග්‍යයක්. රනිල් හෝ සජිත් හෝ අනුර නෙවෙයි. අපේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ඡන්දය පාවිච්චි කළ යුතුයි.

බංග්ලාදේශයේ ආර්ථික දියුණු ඇති කලාට පරිපාලන දියුණු ඇති කරගන්නට ඇයට හැකියාව ලැබුණේ නැහැ. අද බංග්ලාදේශය හොයන්නේ රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක්. තරුණයෙක් වුණාට වැඩක් තියෙනවද රටට වැඩක් නැත්නම්? මෙය තේරුම් ගන්න ඕන. තරුණයන් භාර ගන්න බෑ කියලා පැනලා යද්දි අවුරුදු හැත්තෑවකට වඩා වයස මනුස්සයා මේ රට භාර ගත්තා. සිංගප්පූරුව වගේ රටක් දකින්න අවශ්‍ය නම්, ලී ක්වාන් යූ වගේ නායකයකු දකින්න අවශ්‍ය නම්, අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරමු. දැන් අනුර කුමාරත්, සජිත් ප්‍රේමදාසත් රටේ ජනතාවට අමතක නොවන පාඩමක් උගන්වන්න කියලා තමයි කියන්නේ. මේ රටේ ජනතාව පාඩම පසුගිය කාල පරිච්ඡේදයේ හොඳින් ඉගෙනගත්තා.

“ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් ඉවත් වුණාට පස්සේ, පළමුව ආරාධනා කළේ සජිත් ප්‍රේමදාසටයි. දෙවනුව සරත් ෆොන්සේකාට සහ තෙවනුව අනුර කුමාර දිසානායකට ආරාධනා කළා. ඒ වෙලාවේ ජීවිත බේරගන්න තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බලාගෙන හිටියෙ. එදා බංකර්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැංගිලා හිටියේ. රට ගැන ජාතිය ගැන මිනිස්සු ගැන හිතුවේ නැහැ. තමන් කොහොමද මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කියලා එදා හිතුවේ. අද සුරංගනා කතා කියන්නේ. රනිල් වික්‍රමසිංහ මේ රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරපු නිසයි. නැති නම් මැතිවරණයට ඉදිරිපත් වෙන්නවත් කාටවත් පුළුවන්ද?

“රට ගැන හිතුවේ, පුළුවන් කියලා හිතුවේ එකම එක පුද්ගලයෙක් විතරයි. රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනාධිපති වෙන්න මේ රටේ ඉඩ දුන්නේ නැහැ. පළවෙනි වරට අගමැති වෙලා මේ රට පාලනය කරද්දි අවුරුදු දෙකක් යද්දී චන්ද්‍රිකා මැතිනිය ඒක නැවත අරගත්තා. ඒකට උදවු කළේ දැන් ඉන්න රතු මල්ලිලා තමා. ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරලා නමට අගමැති කරලා පාලනය ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ.

“අනුරාධපුරයේ පැවති රැලියෙන් අනුරාධපුරේ ජනතාවගේ කැමැත්ත කොහෙටද තියෙන්නේ කියලා හොඳටම පෙනුණා. ගෑස්ටැංකිය දැක්කාම ජනතාවට මතක් වෙන්නේ ගෑස්ටැංකිය ගන්න පළමු පියවර තැබුවේ වර්තමාන ජනාධිපතිවරයා කියලයි. එතුමා බලයට පත් වෙලා කරපු දෙවැනි කාර්යය මේ රටේ මිනිස්සුන්ගේ ගෑස් ප්‍රශ්නය විසඳන එකයි. දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබෙන ලකුණක් තමයි ගෑස් ටැංකිය කියන්නේ.”

නෙත්මි පූජනී රත්නායක,

මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT