Home » ඉතාලියේ මුහුදුබත් වූ සුඛෝපභෝගී යාත්‍රා අනතුරින්

ඉතාලියේ මුහුදුබත් වූ සුඛෝපභෝගී යාත්‍රා අනතුරින්

-බ්‍රිතාන්‍යයේ ප්‍රකෝටිපතියාත් අතුරුදන්

by sachintha
August 21, 2024 1:53 am 0 comment

මෝගන් ස්ටැන්ලි ජාත්‍යන්තර බැංකුවේ සභාපතිවරයාත් ඒ අතර 

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ මධ්‍යධරනි මුහුදේදී පුද්ගලයන් 22 දෙනකු රැගත් සුඛෝපභෝගී ‘බයේසියන්’ මගී යාත්‍රාව මුහුදුබත් වීමෙන් අතුරුදන්වූ පුද්ගලයන් අතර බ්‍රිතාන්‍යයේ ප්‍රකෝටිපතියකු වන මයික් ලින්ච් ද සිටින බව තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘බ්‍රිතාන්‍යයේ බිල් ගේට්ස්’ නමින් ප්‍රචලිත 59 හැවිරිදි ප්‍රකෝටිපතියා එරට ප්‍රමුඛතම තාක්ෂණ සමාගම් ජාලයේ හිමිකරු වන අතර, ‘බයේසියන්’ යාත්‍රාවේ සංචාරය ඔහු විසින් සංවිධානය කරනු ලැබූ සංචාරයක් බව ද හෙළි වී තිබේ. සිය පවුලේ සමීපතමයන් සඳහා ඔහු එම සංචාරය සංවිධාන කර ඇත්තේ

ඔහු සතුව තිබූ තාක්ෂණ සමාගමක් අමෙරිකාවේ එච්පී තොරතුරු තාක්ෂණ සමාගම වෙත අලෙවි කිරීමේදී ව්‍යාජ ගිණුම් තොරතුරු ඉදිරිපත් කළ බවට ලන්ඩන් නුවර මහාධිකරණයේ විභාගයට ගත් වංචා චෝදනා නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමේ සතුට සැමරීමට බව ද වාර්තා වේ. එම නඩුවෙන් නිදහස් වන තුරු මයික් ලින්ච් වසරක කාලයක් නිවාස අඩස්සියේ පසුවූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බ්‍රිතාන්‍ය අගමැතිවරු දෙදෙනකුගේ තාක්ෂණ උපදේශකවරයා ලෙසත් කටයුතු කර ඇති මයික් ලින්ච් සමඟ 18 හැවිරිදි දියණිය ද අතුරුදන්වී ඇති අතර, බිරිය ඇන්ජෙලා දිවි බේරා ගත් 15 දෙනා අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ලෝක ප්‍රකට මෝගන් ස්ටැන්ලි බැංකු ජාලයේ සභාපති ජොනතන් බ්ලූමර් සහ ඔහුගේ බිරිය, බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නීතිඥවරයකු වන ක්‍රිස්ටෝපර් මෝවිල් සහ ඔහුගේ බිරිය වන ප්‍රකට ආභරණ නිර්මාණ ශිල්පිනිය නේඩා මෝවිලෝ ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුමට සහාය වීමට බ්‍රිතාන්‍යයේ සිට විමර්ශන කණ්ඩායමක් ද සිසිලි දූපතට පැමිණ ඇතැයි වාර්තා වේ. මගීන් 12 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනකු රැගත් බයේසියන් මගී යාත්‍රාව අනතුරට ලක්වී ඇත්තේ පෙරේදා අලුයම 5.00ට පමණ බවටත්, ඒ වනවිට මයික් ලින්ච් ඇතුළු පිරිස සිය කැබින් කාමරවල තද නින්දේ පසුවූ බවටත් දිවි ගලවා ගත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.

අතුරුදන්වූ පුද්ගලයන් 7 දෙනා අතුරින් එක් පුද්ගලයකුගේ මළසිරුර සොයා ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක බළකායේ කිමිදුම්කරුවන් සමත් වී ඇත. මිය ගිය පුද්ගලයා යාත්‍රාවේ අරක්කැමියා බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT