දේශපාලන භූමිය යනු රහස් ගබඩාවකි. සමහර රහස් කළ එළියට එන අතර සමහර රහස් සදාකාලිකවම සැඟව යන්නේය. සමහර දේශපාලන පක්ෂ සහ සංවිධාන ආරම්භ වීමට ද මෙවැනි රහස් හේතු වී තිබේ.ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වීමට බලපෑවේද මෙවැනි රහස් සාකච්ඡාය. ජවිපෙ සංවිධානය කළේද රහසේය. ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කළ ලියාපදිංචි දේශපාලන පක්ෂය මෙන්ම මුල්ම වමේ ව්‍යාපාරය ද වන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. සමසමාජ පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායම් රාශියක්ම දේශපාලන බිමේ ඇති විය. සමසමාජ පක්ෂයෙන් වෙන්වී හැදුණු මුල්ම පක්ෂය වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි. එම පක්ෂයේ නායකයෙක්ව සිටි ෂන්මුගදාසන් සහෝදරයා වෙන්ව ගොස් කොමියුනිස්ට් පක්ෂයේ (චීන) පිල ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂය තුළ ද විශාල අර්බුද ඇතිවෙමින් තිබිණි. ආර්. ප්‍රේමදාස මහතා පුරවැසි පෙරමුණ නමින් වෙනම සංවිධානයක් හදාගෙන කටයුතු කළේය. ජේ.ආර්. ජයවර්ධන යූ.ඇන්.පියෙන් තල්ලු වී යමින් සිටියේය. ජේ.ආර්. – අනුර බණ්ඩාරනායක මහතා සමඟ වඩාත් හිතවත්කමකින් ක්‍රියා කරන්නට විය.
විජේවීර ඇතුළු පිරිසක් මෙම චීන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ විය. පක්ෂයේ තරුණ අංශයේ ක්‍රියාකාරීන් බවට පත් ඔව්හු එහි සිටියදීම සමහර පළාත්වල තරුණ දේශපාලන කඳවුරු ආදිය පවත්වමින් රහසේ සංවිධාන හදන්නට වූහ. මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය තුළ මතභේද හටගත් අතර තරුණ අංශයේ බලය විජේවීර ඇතුළු පිරිස අතට පත්විය. ජනතා විමුක්ති පෙරමුණට අත්තිවාරම් දමන ලද්දේ ඒ හරහාය. මේ අනුව ලංකාවේ සියලුම වාමාංශික පක්ෂවලට පමණක් නොව වෙනත් සමහර දේශපාලන පක්ෂවල පවා මුදුන් මුල සමසමාජ පක්ෂය බව ඉතිහාසය විමසා බැලීමේදී අනාවරණය වෙයි.
සමසමාජ පක්ෂය ඇතුළු වමේ පක්ෂවල මෙහෙයවීමෙන් වූ 1953 මහා හර්තාලය පිළිබඳව කරන ලද දේශපාලන මැනීම අදටත් අප්‍රමාණවත්ය. හර්තාලයට නායකත්වය දුන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. සමසමාජ පක්ෂය බලය තිබූ ප්‍රදේශවල පමණි හර්තාලය සාර්ථක වූයේ. හර්තාලයට සූදානම එළිදැක්වීම සඳහා ගෝල්ෆේස් පිටියේ දැවැන්ත රැස්වීමක් පැවැත්විණි. බණ්ඩාරනායක මහතා ගෝල්ෆේස් පිටියේ පැවැති රැස්වීමේ මූලාසනය ඉසිලුවද හර්තාලයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළේය. කෑගල්ලෙන් එහාට හර්තාලයේ යම් සාර්ථක වීමක් වූයේ නම් ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඒ අවට ප්‍රදේශයේ පමණි. එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ ඩොරික් ද සූසාගේ මඟ පෙන්වීමෙන් එදා සිසුන්ට සිටි බැටී වීරකෝන්, බාලා තම්පො ඇතුළු පිරිස් පේරාදෙණියේ හර්තාලය මෙහෙයවූහ. ඩොරික් ඒ වන විට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික කේ විය. බැටී පසුකලෙක සමසමාජ පක්ෂයේ ලේකම්වරයා ද විය. බාලතම්පෝ සමසමාජ පක්ෂයෙන් මැද කොළඹ ආසනයට තරග කොට සිව්වැන්නා විය. මැදකොළඹ ආසනයට මන්ත්‍රීවරුන් තිදෙනෙක් තේරෙයි. ඔහු සිව්වැනියා වූයේ තුන්වැනියාට වඩා සුළු ඡන්ද ගණනකිනි. පසුව ඔහු ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම්වරයා විය. 1953 එජාප ආණ්ඩුවේ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ අය වැයෙන් හාල්, පිටි, සීනි, තැපැල් ගාස්තු ආදී ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා වියදම් ඉහළ දැමූ අතර පාසල් දරුවන්ගේ දිවා ආහාරය පවා අහිමි කළේය.
මෙරට ඉතිහාසයේ මුල්ම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ණය ලබා අය වැය හැදීමේ වාර්තාව තැබුවේ 1953 දී ජේ.ආර්. ජයවර්ධන මහතාය. ලසසප අනෙකුත් වමේ පක්ෂ ද සම්බන්ධ කරගෙන හර්තාලය දියත් කළේ ජේ.ආර්. විසින් කරන ලද බඩු මිල නැංවීමට එරෙහිවය.
මේ වන විට බණ්ඩාරනායක මහතා එ.ජා.පයෙන් අස්ව ශ්‍රී ලනිපය ගොඩ නඟා තිබිණි. ඔහු එජාප ආණ්ඩුවේ පළාත් පාලන ඇමැතිවරයා විය. ඇමැතිවරයාව සිටියදී සියලු පළාත් පාලන ප්‍රධානීන් සමඟ ඉතා කිට්ටු සබඳතා ඇතිකර ගත්තේය. ශ්‍රීලනිපය සෑදීමේදී රටපුරා පිරිස් එයට සම්බන්ධ වීමට එයද ප්‍රබල හේතුවක් විය.
1963 වාමාංශික එක්සත් පෙරමුණ බිහිවීම ද ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් විය. වාමාංශික එක්සත් පෙරමුණ බිහිවූයේ එවකට දේශපාලන බිමේ ප්‍රබලව සිටි ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ සන්ධානගත වීමෙනි. මෙය රට පුරා ජනතාවගේ අවධානය කොතරම් යොමු කරගත් සන්ධානයක් වූයේ ද යන්න ඒ අවදියේම පැවති බොරැල්ල අතුරු මැතිවරණයේදී එජාපය ශ්‍රීලනිපය දෙකම පරදවා වාමාංශික එක්සත් පෙරමුණ ජයග්‍රහණය ලැබීමෙන් පැහැදිලිය. බොරැල්ලට වාමාංශික පෙරමුණේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කළ විවියන් ගුණවර්ධන මහත්මිය බොරැල්ලේ මන්ත්‍රීවරිය ලෙස පත්වූවාය. මේ පක්ෂ තුනේ නායකයන් වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ දොස්තර වික්‍රමසිංහ එකම ජීප් රථයක නැඟී ගෝල්ෆේස් දක්වා ගමන්ගත් පෙළපාළිය ඉතිහාසයෙහි මේ දක්වා පවත්වා ඇති පෙළපාළි අතර සටන්කාමී මෙන්ම විශාල ජනතාවක් සහභාගි වූ ජන ගංගාවක් ද වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට බලයේ සිටි අතර ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට බැරි තරමට ආණ්ඩුව තුළ අර්බුද උග්‍රවූ යුගයක් ද විය. අය වැයෙන් අය වැයට මුදල් ඇමැතිවරු මාරු කරමින් තිබිණි. සමසමාජ පක්ෂය සම්බන්ධ කරගත හොත් ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමැති කර ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට පුළුවන් වනු ඇතැයි යන්න ශ්‍රීලනිප බොහෝ දෙනා තුළ ඇතිවී තිබිණි. ප්‍රතිගාමී ප්‍රගතිශීලී යනුවෙන් පැහැදිලි බෙදීමක් ශ්‍රීලනිප තුළ විය. ඉලංගරත්න මහතා ඇතුළු පිරිසක් ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවට ඇසුරු කර ගැනීම සඳහා සාකච්ඡා කරන්නට වූ අතර ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුව දකුණට ගෙන යාම සඳහා වෙනත් උපක්‍රමයක නිරතව සිටියහ. ඇන්.ඇම්. පෙරමුණෙන් ඉවත්ව ළඟදීම ආණ්ඩුවට එකතු වෙනවා යැයි ෆීලික්ස් ඩයස් පිල පිලිප් ගුණවර්ධන මහතාට ආරංචි යැවීය. පසුව ෆීලික්ස් ඩයස් පිලිප් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එකතු කරගන්නට සාකච්ඡා පවත්වන්නට විය.
වාමාංශික එක්සත් පෙරමුණ ලෙසින්ම ආණ්ඩුවට එක්වීමට ඇන්.ඇම්. සාකච්ඡා කළ අතර බණ්ඩාරනායක මැතිනිය ඊට අකමැත්ත දක්වා ඇත.
ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක උත්සාහ කර ඇත්තේ ආණ්ඩුව යටතේම ජුන්ටාවක් ඇතිකර එහි ප්‍රධානීන් ලෙස මැතිනිය, ෆීලික්ස් සහ පිලිප් ද එකතු කරගනිමින් පාලනය ගෙනයෑමටය. ඉලංගරත්න ඇතුළු කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මෙම ජුන්ටාව සාර්ථක වන තත්ත්වයකට පත්ව ඇති නිසා එය වැළැක්වීමට එකම ක්‍රමය සමසමාජ පක්ෂය ආණ්ඩුවට එක් වීම බවය.
(මේ පිළිබඳ සටහන් පොත් කිහිපයකම දක්නට ඇති අතර රොබට් ගුණවර්ධන ජීවිත කතාවේද ඇත.) ටී.බී. ඉලංගරත්න, ටී.බී. සුබසිංහ, සී. කුමාරසූර්යර් යන අයගේ බලගතු උත්සාහය අනුව ශ්‍රී ලංකා සමසමාජ සභාග ආණ්ඩුවට අත්තිවාරම වැටුණේය.
වැලිගල්, සිමෙන්ති එකතුකර ශක්තිමත් අඩිතාලමක් ඇති කළා යැයි කී වාමාංශික එක්සත් පෙරමුණ අවාසනාවන්ත ලෙස අඩපණ විය.
1970 සමගි පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ජනතාවට දුන් පොරොන්දු රැසක්ම ඉටු කළත් බොහෝ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර නොයෙක් මතභේද හට ගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමට නැඹුරු කර සමාජවාදී රටවල් සමඟ කිට්ටු සබඳතා පවත්වමින් ජනතා ප්‍රශ්න විසඳීම පිණිස ඉදිරියට ගෙන යාමට ටී.බී.ඉලංගරත්න මහතා ඇතුළු පිරිසක් ක්‍රියාත්මකව සිටියේ 1960 ගණන්වල සිටය. ටී.බී. සුබසිංහ, සී. කුමාරසූර්යර් වැනි පිරිස් මෙම කණ්ඩායමේ ප්‍රබලයෝ වූහ.
මෙම පිරිසට අයත් ලසසප, කොප නායකයනුත් රට තුළ ගෙන යා යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිරන්තර සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡා පැවැත්වුණේ ලසසප න්‍යායාචාර්යවරයෙකු වූ හෙක්ටර් අබේවර්ධන මහතාගේ නිවසේය. 1975 වනතුරුත් මේ සාකච්ඡා පවත්වා ඇත. සමගි පෙරමුණ තුළින් ප්‍රගතිශීලී වැඩකොටසක් ඉටු කිරීම සඳහා මෙම සාකච්ඡා ඉවහල් විය. ලංකා සමසමාජ පක්ෂය විසින් 1974 දී මහා පෙළපාළියක් සංවිධානය කළේය. පෙළපාළියට රටේ හැම දෙසකින්ම පැමිණි අයගෙන් කැම්බල්පිටියත් අවටත් ඉතිරී ගොස් තිබිණි. පෙළපාළියේ ඉදිරි කොටස පිටත්වීමට සූදානම් වූවා පමණි.
“ඇඳිරි නීතිය පනවා ඇතැයිද වහාම පෙළපාළිය නවත්වා ගෙවල්වලට යන්නැයි” ද පොලිසිය ශබ්දවාහිනියකින් හඬ නඟන්නට විය.
ඇඳිරි නීතිය පැනවීමට එකම හේතුව පෙළපාළියේ ගමන නැවැත්වීමය. පෙළපාළිය පවත්වන්නේ ආණ්ඩු විරෝධී පක්ෂයක් නොවන ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයකි.
මේ වන විට ආණ්ඩුවේ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය සිටියේ විදේශගතවය. ආණ්ඩුවේ මෙහි සිටින සමහරුන්ගේ ඉල්ලීම් මත ඇය එහි සිටම වැඩබලන අගමැති මෛත්‍රීපාල සේනානායක මහතාට කතාකොට ඇඳිරි නීතිය පනවා පෙළපාළිය නවත්වන ලෙස උපදෙස් දුන්නාය.
ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාවක් කරන්නට නොහැකි යැයි මෛත්‍රීපාල සේනානායක මහතා කී විට ෆීලික්ස් ඩයස්ට කතා කොට ඔහු ලවා ඇඳිරි නීතිය පනවා පෙළපාළිය නතර කරන්නට ක්‍රියා කළාය.
සමසමාජ නායකයන් මේ ගැන වැඩබලන අගමැති මෛත්‍රීපාල සේනානායක මහතා හමුවී කතා කළ විට තමා ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවට විරුද්ධ බවත් වැඩබලන අගමැති තමා වුවත් මෙය ඔහුටද පිටින් සිදුවූවක් බවත් කියා සිටියේය.
මේ වන විට පෙළපාළිය තහනම් කර ඇඳිරි නීතිය පනවා ඇතැයි දැනගත් පිරිස් “පෙළපාළිය බලෙන් හෝ යමු” යැයි කියමින් කැම්බල් පිටිය දෙවනත් කරන්නට වූහ.
ඇඳිරි නීතිය වැනි දරුණු නීතියක් තුළ ජීවිත අවදානමකට ලක් නොකර පෙළපාළිය නැවැත්වීමට තීරණය කළ සමසමාජ නායකයෝ ලංගම ඇතුළු ලබාගත හැකි සියලු වාහන ලබා ගනිමින් පැමිණි පිරිස් වහාම ඔවුන්ගේ ගම්වලට යවන්නට පියවර ගත්හ.
1960 දී මහා මැතිවරණ දෙකක් පැවැත්වුණි. එකක් මාර්තු මාසයේය. අනෙක ජූලි මාසයේය. මාර්තු මැතිවරණයෙන් එජාපය සුළුතර ආසන ප්‍රමාණයකින් ජය ලැබූ අතර ශ්‍රීලනිපය ආසන සැලකිය යුතු ප්‍රමාණයක් දිනා ගත්තේය.
සමසමාජ කොමියුනිස්ට් ඇතුළු වමට ආසන විස්සකට කිට්ටුව ලැබී තිබිණි. ශ්‍රීලනිපය ආණ්ඩුව පිහිටුවන්නේ නම් තම සහාය දෙන බව වම කියා සිටියේය. ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තමන්ට ඇති බව ශ්‍රීලනිපය ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලකට දැන්වුවත් ඔහු ආණ්ඩුව පිහිටුවීමට ආරාධනා කළේ එජාපයටය. ඩඩ්ලි සේනානායක මහතා අගමැති වී ආණ්ඩුව පිහිටුවුවත් කථානායක තේරීමේදී ආණ්ඩුව රජය වී රාජාසන කතාවද පරාජය වීම නිසා ආණ්ඩුව ඉවත් වී ජූලි මාසයේ තවත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. ඉන් ශ්‍රීලනිපය ජයගත් අතර බණ්ඩාරනායක මැතිනිය අගමැති විය.
ටික කලකින්ම ආණ්ඩුව, අර්බුදයට ගියේ මූල්‍ය අර්බුදයට මුහුණදීම සඳහා වසරින් වසර මුදල් ඇමැතිවරු මාරු කළේය. සමසමාජය ආණ්ඩුවට ගෙන මුදල් ඇමැතිකම ඇන්.ඇම්.ට දීම සුදුසු බවට ශ්‍රීලනිපයේ වමේ පිරිස් කියන්නට වූහ. වාමාංශික එක්සත් පෙරමුණත් අහෝසි වෙමින් සමසමාජය ආණ්ඩුවට එක්වීමට මෙම කරුණ බලපෑවේය.
සමසමාජය ආණ්ඩුවට එකතු කර ගැනීම නොව ශ්‍රීලනිපයේ ප්‍රබල අවශ්‍යතාවය වූයේ ඇන්.ඇම්. මුදල් ඇමැති කිරීම බව මින් පැහැදිලිය.
එක්සත් ජාතික පක්ෂය තුළ ද විශාල අර්බුද ඇතිවෙමින් තිබිණි. ආර්. ප්‍රේමදාස මහතා පුරවැසි පෙරමුණ නමින් වෙනම සංවිධානයක් හදාගෙන කටයුතු කළේය. ජේ.ආර්. ජයවර්ධන යූ.ඇන්.පියෙන් තල්ලු වී යමින් සිටියේය. ජේ.ආර්. – අනුර බණ්ඩාරනායක මහතා සමඟ වඩාත් හිතවත්කමකින් ක්‍රියා කරන්නට විය. කලාවැව ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට යෝජිත වූ අවස්ථාවේ අනුර කලාවැව ශ්‍රීලනිප අපේක්ෂක වුවහොත් එජාපයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර නිතරගයෙන් ජය ගන්නට දෙන බව ජේ.ආර්. කීවේය.
මෙයට ශ්‍රීලනිප රජරට ජ්‍යෙෂ්ඨයෝ විරුද්ධ වූහ. මේ නිසා ශ්‍රීලනිපයේ සිටම මෛත්‍රීපාල සේනානායක මහතාට එරෙහිව අනුර බණ්ඩාරනායක මහතාගේ ‘අද’ නමැති පත්‍රෙයන් ‘මීහරක්’ වැනි වදන් කියමින් පහර දුන්නේය. ශ්‍රීලනිප රජරට නායකයන්ගේ විරෝධය නිසා අනුර කලාවැවට දිරිපත් කිරීමේ ජේ.ආර්. – අනුර කුමන්ත්‍රණය වැරදී ගියේය.
දයා සෝමසිරි