ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණ අතරින් දේශපාලනික වශයෙන් වැදගත් වූ ජනාධිපතිවරණයක් ලෙස 2005 නොවැම්බර් මස 17 දින පැවැත්වුණු පස්වෙනි ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. විශේෂයෙන් මේ වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය හා රජය අතර පැවති සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙමින් තිබුණි. ඊට හේතු වූයේ, 2004 ජූලි මස ඇමති ඩග්ලස් දේවානන්දාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට උත්සාහ කිරීමත්, 2005 අගෝස්තු මස 12 දින විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත්, හා 2004 දෙසැම්බරයේ සිදු වූ සුනාමි ව්‍යසනය නිසා රජයේ අවධානය මුළුමනින්ම පාහේ යොමුව තිබුණේ පශ්චාත් සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි වීමත්ය.
එල්.ටී.ටී.ඊය ඡන්දය වර්ජනය කිරීමට ඡන්දදායකයන්ට අණ කිරීම.
2005 ජනාධිපතිවරණයේ දී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් අණ කළේ, උතුරු නැඟෙනහිර ඡන්ද දායකයන්ට ඡන්දය වර්ජනය කරන ලෙසය. ඒ අනුව උතුරු නැඟෙනහිර වැසියන්ට ඡන්දය භාවිත කිරීමට ඉඩප්‍රස්ථා අහිමි විය. 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඡන්ද 4,887,152 (50.29%) ලබා ජයග්‍රහණය කර තිබුණු අතර ප්‍රතිවාදි අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4,706,366 (48.43%) ලබා පරාජයට පත් විය. දමිළ ජනතාව මැතිවරණ වර්ජනය කිරීම මත රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීමට තිබූ ඡන්ද 250,000ත් 300,000ත් අතර ප්‍රමාණයක් අහිමි වී ගියේය. උතුරු නැඟෙනහිර ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින් ඉතා පහළ මට්ටමක පැවතුණි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්යාඉව වූ 701,932න් ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 8524කි. වන්නි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද 250,886න් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 85874ක් විය.
නමුත් උතුරු නැඟෙනහිර ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වූයේ නම්, ජයග්‍රාහකයා මහින්ද රාජපක්ෂ නොවී රනිල් වික්‍රමසිංහ වීමට ඉඩ තිබිණු බව සඳහන් කළ යුතුය.
උතුරේ ඡන්ද හසුරුවන දේශපාලන බලවේගය දෙමළ ජාතික සන්ධානය බව සැබෑ කරුණය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට කාලයක් තිස්සේ එල්ල වූ ප්‍රබල චෝදනාව වූයේ එම සන්ධානය එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරී සමයේ දී ඔවුන්ගේ අතකොලුවක් බවට පත්ව තීන්දු තීරණ ගත් බවටය. මේ නිසාම සමහරුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන පෙරමුණ බවට මතවාදීමය වශයෙන් ටීඑන්ඒ එක තල්ලු කර දැමීමට කටයුතු කළහ. එදා 2005 දී ප්‍රභාකරන් උතුරේ වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කරන විට ටීඑන්ඒ එක ද ඒ අණට කීකරු වීම හැරෙන්නට ඉන් එපිට ක්‍රියා මාර්ග තෝරන්නට ගියේ නැත. මේ අනුව ලක්ෂ ගණනින් දමිළ ජනතාව ඡන්ද මධ්‍යස්ථානවලින් දුරස්කොට තබන ලදී.
2005 බලහත්කාරයෙන් කරනු ලැබු ඡන්ද වර්ජනය මඟින් එල්.ටී.ටී.ඊ සංවිධානය ලොවට මවා පෑමට උත්සාහ කළේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම දමිළ ජනතාව රවටා ඇති හෙයින් අලුතින් පත්වන්නා වූ ජනාධිපතිවරයාගෙන් දමිළ ජනතාවට කිසිවක් අපේක්ෂා කළ නොහැකි බවයි. මෙම වර්ජනය දමිළ ජනතාවගේ තීරණයක් බව එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්මතු කර පෙන්වීය. රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු දැකීමට එල්.ටී.ටී.ඊ සංවිධානයට අවශ්‍ය නොවීය. ඔවුනට අවශ්‍ය වූයේ සාමයට කැමති වූ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වශයෙන් පත්වීම වැළැක්වීමය.
රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව විශාල දමිළ ජනතාවක් සිටින බව එල්.ටී.ටී.ඊය දැන සිටියේය. එනම්, විශේෂයෙන් එල්.ටී.ටී.ඊ ය තහනම් නොකර ඔවුන් සමඟ සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෙරෙහි දමිළ ජනතාවගේ ගෞරවය මුසු හැඟීමක් තිබිණි. තවද රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි ද දමිළ ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබිණි. එසේම මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය නැවත වරක් යුද්ධයකට මඟ පාදන බවත් එල්.ටී.ටී.ඊ සංවිධානය දැන සිටියහ. දමිළ ජනයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් වැළකී එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡාවලට එළඹිය හැකි ජනාධිපතිවරයෙකු වූ අතර එල්.ටී.ටී.ඊයට අවශ්‍ය වූයේ, සාමය බිඳ දමා යුද්ධයට අත වනන ජනාධිපතිවරයෙකි. කෙසේ වුවද, මුලදී වික්‍රමසිංහ මහතාට පමණක් සිය විරෝධය පළ කළ එල්.ටී.ටී.ඊය, පසුව මහින්ද රාජපක්ෂ මහතාට ද විරෝධය පළ කළහ.
මැතිවරණ වර්ජනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ භීෂණය 2005 ජනාධිපතිවරණ වර්ජනය ක්‍රියාත්මක වූයේ යම් පමණක ප්‍රචණ්ඩ ක්‍රියා සහ භීෂණයක්ද සමඟිනි. කිසිදු බලපෑමක් සිදු නොකරන බවට ප්‍රතිඥා දුන්න ද එල්.ටී.ටී.ඊ. සංවිධානය ඡන්දය භාවිතයෙන් වැළකී සිටින ලෙස ප්‍රචාරයක් ගෙන ගියේය. දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා ලෙසින් පෙනී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍ය ජනයා වෙත භීෂණයක් මවාපාමින් මැතිවරණය වර්ජනය කරන ලෙස බලපෑම් කළේය. පෝස්ටර් සහ අත් පත්‍රිකා සෑම පෙදෙසකම බෙදා හැරුණු අතර භීෂණය හා ප්‍රචණ්ඩත්වය ද මුදා හැර තිබිණි. බොහෝ ප්‍රදේශවල බෝම්බ පිපිරීම් ඇති විය. පොලිස් මුර සංචාරවලට, හමුදා මුරකුටිවලට සහ වාහනවලටද, යාපනයේ ඊ.පී.ඩී.පී. කාර්යාල පහකටද මැතිවරණයට පෙර දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල විය. මැතිවරණ දිනයේ උදෑසන රජයේ ගොඩනැඟිලිවලට, ඡන්ද මධ්‍යස්ථානවලට, ආරක්ෂක මුරකුටිවලට බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර ප්‍රධාන මංසන්ධිවල ටයර් සහ තල්කොට දමා ගිනිමැල ගසා තිබිණි. මාර්ග බාධක ඇති කර ඡන්දය දැමීමට යන්නන් පිළිබඳව තරුණ පිරිස් සෝදිසියෙන් සිටිනු දැකිය හැකි විය.
හින්දු විද්‍යාල ක්‍රීඩා පිටියට ඇදගෙන ආ තරුණයකුට මියයන තෙක් ප්‍රසිද්ධියේ පහර දුන් අතර එල්.ටී.ටී.ඊ.යට සාමාන්‍ය ජනතාවගේ ඡන්ද පත්‍රිකා ලබා දීම ප්‍රතික්ෂේප කළ මඩකළපුවේ උප තැපැල් ස්ථානාධිපතිවරියකට පහර දී මරා දමනු ලැබිණි. එල්.ටී.ටී.ඊ. මෝටර් සයිකල්කරුවෝ නගරය පුරා සැරිසරනු දැකිය හැකි විය. සාමාන්‍ය වැසියන් ගමන්ගත් බස් රථවලට ගල් ප්‍රහාර එල්ල වූ අතර, බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයකුගේ තීන්ත තවරා තිබූ ඇඟිල්ල කපා දැමිනි. මේ වන විට උතුරු නැඟෙනහිර ප්‍රදේශ පුරා දැඩි භීෂණයක් මුදා හැර තිබිණි. මේ සියල්ලෙන්ම ප්‍රකාශ කෙරුණේ ‘‘ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුය’’ යන්නයි.
කොටි පාලන ප්‍රදේශවල සිට ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාව පැමිණීම වැළැක්වීමට මඩකළපුවේ ප්‍රධාන මාර්ග අසල, තොටුපළවල හා පාලම් අසල ආයුධ සන්නද්ධ කොටි සාමාජිකයෝ රැඳී සිටියහ. මාධ්‍යවේදියකු එක් කොටි සාමාජිකයකුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තේය. ඔහු ප්‍රකාශ කළේ මෙම මැතිවරණ වර්ජනය මහජනයාගේ වුවමනාවට සිදුවූවක් බවය. ඒ සමඟම ඔහු කියා සිටියේ අප කිසිවකුට ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බවය. මෙවැනි පරස්පර කතා එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා එකතු කර ගිනි තබනු ලැබීය. යුරෝපා හවුලේ මැතිවරණ නිරීක්ෂකයන් ඉදිරියේද ඇතැම් සිදුවීම් ඇති වූයේය. දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් චෙන්කලාඩි සහ වාලච්චේන ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂකයන්ට එම කාර්යයෙන් ඉවත් වන්නට සිදු විය. නැඟෙනහිර ප්‍රදේශයේත්, වවුනියාව සහ මන්නාරම් ප්‍රදේශවලත් තත්ත්වය කිලිනොච්චියේ, මුලතිව් හා යාපනයේ තරම් දරුණු නොවීය.
මෙවැනි ක්‍රියා සිදු වන වාතාවරණයක් මධ්‍යෙය් වුව එල්.ටී.ටී.ඊ.ය තමන් පාවා දී ඇති බව රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම තේරුම් ගෙන නොතිබිණි. ඔවුන් කිලිනොච්චිය සමඟ සම්බන්ධවීමට උත්සාහ කළද එය නිරර්ථක විය. එල්.ටී.ටී.ඊ.ය නැවත වරක් සිය දෙබිඩි පිළිවෙතට නැඹුරු වෙමින් තමන් කිසිවකට මැදිහත් නොවූ බව ප්‍රකාශ කළේය. කොටි සංවිධානය විසින් නිර්මාණය කරන ලද මැතිවරණ වර්ජනය රජයේ පාලන ප්‍රදේශවලට එතරම් බලපෑමක් එල්ල නොකළේය. ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් එල්ල කෙරුණේ කොටි පාලන ප්‍රදේශවල පමණකි. 2005දී දෙමළ ජනතාව පැහැදිලිවම රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළ බව පැහැදිලිය.
කෙසේ වුවද 2005 ජනාධිපතිවරණයේ දී නොසිතු විරු අන්දමින් අවසන් කුළුගෙඩි පහර එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වෙතය.
එම්.තාරික්