දේශපාලනඥයන්ට සුරාබදු බලපත්‍ර ලබා දී ඇතැයි නැඟෙන චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේය.
සුරා බදු බලපත්‍ර ලබා දෙන්නැයි මෙතෙක් දේශපාලනඥයන් කිසිවෙක් ඉල්ලීමක් කර නැතැයි ද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය. ලබන සැප්තැම්බර් 21 වෙනිදා මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම සඳහා සුරා බදු බලපත්‍ර ලබා දෙන බවට ආණ්ඩුවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා එසේ කිය.
අප සුරා බදු බලපත්‍ර ලබා දෙන්නේ නීත්‍යනුකූලව අප වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීමක් ලෙසයි. පූර්ණ විනිවිදභාවයකින් යුතුවයි බලපත්‍ර ලබාදීම සිදු කරනු ලබන්නේ. නීතියට පිටින් සුරාබදු බලපත්‍ර ලබාදීමට අප කාටවත් බැහැ. විවේචකයින් මේ දේ තේරුම්ගත යුතු යැයි ගුණසිරි මහතා කීය.
සුරාබදු නිවේදන නවසිය දෙක (902) සහ සුරාබදු නිවේදන 2/2024 යටතෙයි අප බලපත්‍ර ලබා දෙන්නේ. සුරා බදු දෙපාර්තමේන්තුවට වයස අවුරුදු 110ක්. අවුරුදු පහළොවකට පසුව බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට රජය තීන්දු කළා. ඒ වගේම රජයේ බලපත්‍රලාභී අලෙවිසල් වැඩි කිරීමට තීන්දු කළා. මේ සියලු දේ කළේ ඉතාම විද්‍යාත්මක පදනමක් මතයි.
ඉතිහාසයේ පළමු වතාවට සුරාබදු බලපත්‍රලාභීන්ගෙන් එක් වරක් පමණක් අය කරන විශාල මුදලක් තීන්දු කළා. මහ නගර සභා බල ප්‍රදේශයක බලපත්‍රලාභී මත්පැන්හලක් ආරම්භ කළොත් රුපියල් කෝටි එකහමාරක්, නගර සභා සීමාවක නම් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් රුපියල් කෝටියක මුදලක් මෙලෙස අය කිරීමට තීන්දු කළා. මෙමගින් රුපියල් කෝටි 200 ආදායමක් රජය මේ වසර සඳහා බලාපොරොත්තු වුණා. ඉන් අපි දැනට රුපියල් කෝටි 175ක් උපයාගෙන තිබෙනවා. අපට චෝදනා නැඟෙන්නේ අලුතෙන් බලපත්‍ර ලබා දෙනවා කියලයි. එය සිදු කරන්නෙත් මෙහෙමයි. රටේ ජනගහනය වැඩිවී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ විශාල ව්‍යාප්ත වීමක් සිදු වි තිබෙනවා. කසිප්පු හොර මත්පැන් අලෙවිය වැඩි වෙලා. මේවා නතර කිරීමට නම් ජනතාවට බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් අලුතින් පිහිටුවිය යුතුයි කියා නිර්දේශයක් ආවා. උදාහරණයක් ලෙස කියනවා නම් සමහර දිස්ත්‍රික්කවල එකක් හෝ බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් නැහැ. ඒ අනුවයි මෙම තීන්දුව ගත්තේ. ර.බි. 4 බලපත්‍රලාභී මත්පැන්හල් සඳහායි මේ මුදලක් අය කරන්නේ.
රජයට ආදායම් එක් රැස් කර ගන්නා ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. දේශීය ආදයම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඒවායි. අපේ මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232ක්. එය ගිය වසරට වඩා රුපියල් බිලියන 53 වැඩිවීමක්. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 29.6 වැඩිවීමක්.
මේ ඉලක්ක අප ජය ගනිමින් සිටිනවා. නිලධාරින් 429ක හිඟයක් තිබෙනවා. එසේ තිබිය දී අපි ආදායම් ඉලක්ක ළඟා කරගෙන තිබෙන්නේ. අප විවේචනය කරන අය මේවා දන්නවා ඇති. නමුත් හොඳක් කියන්න කැමති නැහැ. ඒ ගැන අප කනගාටුවෙන්නෙ නැහැ. රජය එක් රැස් කරන සෑම බදු ආදායමක්ම වැය කරන්නේ මහජන සුබසාධනය, රටේ සංවර්ධනය සඳහාය. අපේ අරමුණ රජයට ආදායම් එක්රැස්කරදීමයි කොමසාරිස් ජනරාල්වරයා කීය.
ඉදිරියේ දී තම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තම සේවා ඩිජිටල්කරණයට සූදානම්. නිලධාරීන්ට අලුත් ආචාර්ධර්ම පද්ධතියක් හඳුනා දෙනවා. මේවා තුළින් අපි බලාපොරොත්තු වන්නේ අලුත් ගමනක් යෑමට යැයිද ගුණසිරි මහතා සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ