පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශ වී ඇති බව පූඩළුඔය පොලිසිය පවසයි.
මෙම ගින්න ඉකුත් 16 වැනි දින රාත්‍රී 8.00ට පමණ එක් නිවෙසකින් හටගෙන ඇති බවත්, පසුව ගින්න සෙසු නිවාසවලට ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් පොලිස් නිලධාරියකු කියා සිටියේය. පැතිර ගිය ගින්න වතු කම්කරුවන් සහ පූඩළුඔය පොලිසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්ව තිබේ. ගින්නෙන් නිවාස 17ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර, තවත් නිවාස හතක් ගින්න පාලනය කිරීමට යාමෙන් අර්ධ වශයෙන් අලාභ හානි සිදු වී ඇත.
ගින්නෙන් කිසිවකුට තුවාල සිදු වී නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 24කට අයත් සාමාජිකයන් 80දෙනකු එම වතුයායේ හින්දු කෝවිල් ශාලාවේ තාවකාලිකව නතර කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට වතු පාලන අධිකාරිය, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබේ.
මෙම ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වී ඇති බවත් ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් ලෙස සැකකරන බවත් ගින්න පිළිබඳව පරීක්ෂණ පවත්වන පූඩළුඔය පොලිසිය කියයි. ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
හැටන් – රංජිත් රාජපක්ෂ,
හැටන් මධ්‍යම විශේෂ