Wednesday, April 23, 2025
Home » ජනපතිට සහාය දුන් අප රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළා

ජනපතිට සහාය දුන් අප රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළා

-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ

by sachintha
August 19, 2024 1:49 am 0 comment

ආණ්ඩුව බිඳ වැටුණු මොහොතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහායෙන් ජනපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධව එතුමාට ගෞරවය පුද කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර, අම්පිටිය, ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී පෙරේදා (17) පැවති පාක්ෂික හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි කිරීමෙන් පසු අපි මුහුණ දුන් මැතිවරණ තුනක් ජයග්‍රහණය කළා. විද්වතුන්ගේ, වෘත්තිකයන්ගේ සහ එක් එක් ක්ෂේත්‍රවලට අයත් විශේෂඥයන්ගේ උපදෙස් මත තමයි ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා බොහෝ තීන්දු තීරණ ගත්තේ. සමහර ඒවා හරි ගියා. සමහර ඒවා හරි ගියේ නෑ. අපේ ආණ්ඩුව හිතාමතා මේ රටේ ජනතාවට අසාධාරණයක් කළේ නෑ. පුරවැසියන්ට හානි වන කිසිදු තීන්දුවක් නොගත් බව මම වගකීමෙන් කියනවා. විපක්ෂ නායකවරයාට රට භාර ගන්න ආරාධනය කළ අවස්ථාවේ ඔහු ඒක කළා නම් අපිට ඔහුටත් අවුරුදු දෙකක් උදව් කරන්න තිබ්බා. ඒ වෙලාවේ අපට වගකීමක් තිබ්බා රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න. බංගලාදේශ ආණ්ඩුව කඩාගෙන වැටුණා. තෙල් පෝලිම්, විදුලි කැපීම් නිසා මේ රටේ අරගලයක් ඇති වුණා කියනවා. බංග්ලාදේශයේ ලයිට් කැපුවේ නෑ. තෙල් පෝලිම් තිබ්බේ නෑ. කලාපයේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත්ම නායිකාවක් වූ ෂෙයික් හසීනා අවසන් වරට පැවති මැතිවරණයෙන් 75%ත් 80 %ත් ඡන්ද ප්‍රතිශතයකින් ජය ගත්තා. එහෙත් අරගලයක් ආවා. ඒකට ප්‍රහාරයක් එල්ල කළා. මිනිස්සු මැරුණා. අගමැතිනියට යන්න සිදු වුණා. ආණ්ඩුව වැටුණා. අපේ රටෙත් අරගලයක් ක්‍රියාත්මක වුණා. නායකයාට යන්න සිද්ධ වුණා. නමුත් රාජ්‍යය වැටෙන්න අපි ඉඩ දුන්නේ නෑ. ආණ්ඩුව රකින්න ගිහින් බංගලාදේශයේ රාජ්‍ය බිඳ වැටුණා. අපි උපක්‍රමශීලීව ආණ්ඩුව අත්හැරලා රාජ්‍යය ආරක්ෂා කර ගත්තා. රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තට පස්සේ අපි සහාය දුන්නා. අපේ මන්ත්‍රීවරුන්ගේ සහාය අරන් එතුමා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළා. සමහර ප්‍රතිපත්ති එක්ක අපට එකඟ වෙන්න බැරි තත්ත්වයක් තිබුණා. පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ඇතැම් කොන්දේසි සම්බන්ධව අපට ප්‍රශ්න තිබුණා. රාජ්‍ය ආයතන විකුණන්න කටයුතු කළ ආකාරය සම්බන්ධව අපට එකඟ වීමට නොහැකි කාරණා තිබුණා. ජනපතිවරයා වෘත්තිය සමිති ව්‍යාපාරය එක්ක ගනුදෙනු කළ ආකාරය ගැන ගැටලු තිබුණා.

අපේ පක්ෂය තමයි මේ රටේ නූතනත්වය නියෝජනය කරන්නේ. මේ රටේ තරුණ ප්‍රජාව අපේක්ෂා කරන රට, ගොඩනගන්න පුළුවන් අපටයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අප සතුයි. ඉදිරියේදී අපි ගොඩනඟන ආණ්ඩුවකින් මේ රටේ විප්ලවීය වෙනසක් ඇති කරනවා. ඉදිරි වසර 10 තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා මිලියනයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබෙනවා. ඊට ගැළපෙන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුගත කළ යුතුයි. අද ඇතැම් පක්ෂ පක්ෂ සහ සංවිධාන තිහ හතළිහ සමඟ ගිවිසුම් අත්සන් කරමින් සන්ධාන ගත වෙනවා. ඡන්දයෙන් පස්සේ මේවා සියල්ල කැඩී විසිරී යනවා. පැරණි ජනතා විමුක්ති පෙරමුණ ඡන්දයෙන් පසුව ජාතික ජන බලවේගයෙන් ඈත් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනපතිවරණයෙන් පසුව මේ ආකාරයෙන්ම ශක්තිමත්ව පවතිනවා.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT