‘හතු පිපෙන්නා’සේ මතුවන දේශපාලන පක්ෂ අධෛර්යවත් කිරීම; ‘පක්ෂ- මාරු’ මගඩිය අහෝසි කිරීම හා බහු මැතිවරණ පැවැත්වීම වැනි අනෙකුත් ‘ සිස්ටම් චේන්ජ්’ යෝජනා තුළින්, මැතිවරණ ක්‍රමයේ ගුණාත්මක භාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවෙනු බව නිසැකය.”
ජනපතිවරණ අපේක්ෂකයින් වෙත විවෘත ලිපියක්: ලබන පළාත් සභා හා මහා මැතිවරණවලට පෙර, වඩාත් සාධාරණ, සරල හා ජනහිතකාමී මැතිවරණ හා දේශපාලන ක්‍රම නීතිගත කිරීම.
පසුගිය දශක කිහිපය මුළුල්ලේ, අපගේ පාර්ලිමේන්තුව තුළ, වෙනත් අරමුණු පෙරටු කරගත් නිසි සුදුසුකම් හා කුසලතාවයන් නොමැති සමහරුන්ගෙ ගතානුගතික පිරිස් මතුවිය. දේශපාලන හා මැතිවරණ ක්‍රමයේ දුර්වලතා නිසා, 2022 හිදී මෙරට අර්බුදකාරි තත්ත්වයක් ඇති විය. මේ තත්ත්වයට විසඳුම් සෙවීම කළ යුත්තකි. මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී ‘කුසලතාවය’ සහ විනිවිදභාවය ඇති කර ගැනීම අනිවාර්ය කරුණකි. එහෙත් මෙම තත්ත්වය වෙනස් කර ක්‍රමවෙනසක් ඇති කළ යුතු බව අද වන විට පක්ෂ විපක්ෂ බොහෝ පිරිසකගේ පොදු අදහස බවට පත්ව තිබේ. දැන් ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයන් රැසක් තරග කරනු ලබන අතර, ඔවුන් වෙත රට අනාගතයේ ගමන් කළ යුතු ආකාරය කෙසේද ඒ සඳහා ගත යුතු ක්‍රම සහ මාර්ග මොනවාද යන්න පිළිබඳ මෙසේ අදහස් දැක්විය හැකිය. සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අනිවාර්ය පූර්ව අවශ්‍යතා වන ඡන්ද සමානාත්මතාවය, කුසලතාවය, නිරවද්‍යතාවය සහ සහේතුක භාවය මත පදනම්ව. යාවත්කාලීන කළ සරල සහ සාධාරණ සාධාරණ ක්‍රම වෙනසක් සඳහා වූ යෝජනා මෙසේ පෙන්වා දෙමු. මේ දැක්වෙන්නේ එවැනි යෝජනා පෙළකි.
1. ජාතික මැතිවරණ කොමිසම (NEC) විසින් දැනටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන, පක්ෂවල ජාතික චන්ද % අනුව, සරලව සහ නිවැරදි ලෙස ජාතික ආසන සංඛ්‍යාව ගණනය කිරීම.
2. එක් එක් පක්‍ෂය විසින් හිමි කරගත් එම ජාතික ආසන සංඛ්‍යාව, තම දිස්ත්‍රික් ඡන්ද % අනුව, එක් එක් දිස්ත්‍රික්කයට අනුයුක්ත කිරීම.
3. නව පරපුරේ ඉල්ලීම අනුව, පක්ෂ/කණ්ඩායම් විසින් සුදුසු අපේක්ෂකයන් කුසලතා පදනමින් තේරීම සහතික කිරීම සඳහා, NEC විසින් රට පුරා ඒකීයත්වයක් රැකෙන පරිදි සකස්කරන ලද, පොදු සුදුසුකම් නිර්ණායක මාලාවක් හා ලකුණු ලබාදෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක්, මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදුකිරීම.
4. එම කුසලතා ලකුණු අනුව සකස් කළ මූලික මැතිවරණ කොට්ඨාස උප – ලැයිස්තු, තම දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තු ලෙස ඉදිරිපත් කිරීම. දිස්ත්‍රික්ක 10ක හෝ ඊට අඩුවෙන් තරග කරන පක්ෂවලට එක් මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවක් (ජවිපෙ විසින් කලින් සිදුකළ පරිදි) කුසලතා අනුපිළිවෙළින් NEC වෙත ඉදිරිපත් කිරීමට අවසර දීම.
5.මෙහිදී, සියලුම මැතිවරණ කොට්ඨාස නාමයෝජනා උප – ලැයිස්තු සහ මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවල සෑම නම් 5ක් ඇතුළත, අවම වශයෙන් කාන්තාවන් 01කෙනෙකු සහ වයස අවුරුදු 35ට අඩු තරුණ, තරුණියන් 01 කෙනෙකු සිටීම අනිවාර්ය කිරීම මඟින් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය (20% බැගින්) සහතික කිරීම. ඒ සඳහා, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය තුළ, කාන්තාවන්ට සහ තාරුණ්‍යයට විශේෂ ලකුණු ලබා දීම.
6. ඉහත සඳහන් මූලික නාම යෝජනා ලැයිස්තු, දිස්ත්‍රික් මැතිවරණ සහකාර/ නියෝජ්‍ය කොමසාරිස්තුමාගේ සටහන් ඇතිව NEC ට ඉදිරිපත් කළවිට, ඒවා NEC විසින් නිශ්චිත කාල රාමුවකට යටත්ව, මහජන විරෝධතා හා අනුමැතිය සඳහා භාෂා 3 කින් ජාතික පුවත්පත්වල පළකිරීම.
7. ඉන් අනතුරුව, NEC ගේ සටහන් හා උපදෙස් අනුව පක්ෂ විසින් තම අවසාන නාම යෝජනා ලැයිස්තු සංශෝධනය කර මැතිවරණ කොමිසම වෙත යවා, අවසන් අනුමැතියෙන් පසුව ඉහත සඳහන් පුවත් පත්වල නැවත පළ කිරීම කළ යුතුය.
මෙහි තිබෙන විශේෂ ප්‍රතිලාභ මෙලෙස පෙන්වා දිය හැකිය
i. ඉහත ක්‍රම වේදය අනුව, රට පුරා මහජන අනුමැතිය ලත්, සැබෑ ‘රට – පළමු – දේශපාලන වෘත්තිකයින්’ නම් කිරීම සහතික කිරීමෙන්, නව පරපුරේ ප්‍රධාන ඉල්ලීම හා මැතිවරණ ක්‍රමයේ සියලු අරමුණු නිසි ලෙස ඉටු වීම.
ii. අනෙක් විශේෂ වාසිය වනුයේ, සංකීර්ණ මිශ්‍ර ඡන්ද ක්‍රමය තුළ සිදුකළ නොහැකි වූ, වලංගු ඡන්ද සඳහා වන ‘සමානුවටිනාකම’ ආරක්ෂා කරගනිමින්, පැරණි ක්‍රමය යටතේ විශාල ඡන්ද දායකයන් පිරිසකගේ අපේක්ෂාව වූ මැතිවරණ කොට්ඨාස 160ට අවම වශයෙන් මන්ත්‍රී 01 බැගින් පත් කිරීම සහතික කිරීමට හැකිවීමයි.
උදාහරණයක් වශයෙන්, මැතිවරණ කොට්ඨාස 15ක් ඇති කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉහත අංක 02 අනුව, පක්ෂ ‘A’ ට ආසන 11ක් ලැබී, මැතිවරණ කොට්ඨාස 9ක් ජය ගෙන ඇත්නම්, එම මැතිවරණ කොට්ඨාස උප- ලැයිස්තුවල ඉහළින්ම සිටින නාමිකයන් (බහු මන්ත්‍රීන් ඇතුළුව) පළමුව තේරේ. ඉතිරි ආසන ඇතොත්, ඒවා සඳහා, පක්ෂය විසින්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති කොට්ඨාසවල නාමිකයන්, අදාළ කුසලතා ලැයිස්තුව අනුව තේරීමෙන් ආසන 11 සම්පූර්ණ වේ. එලෙසම, කොළඹ දිස්ත්‍රික් ආසන හිමිවන අනික් පක්ෂවලටද, මන්ත්‍රීන් පත්වනු ඇත. මධ්‍යම සංචිත ලැයිස්තු ලියාපදිංචි කර ඇති ආසන හිමි පක්ෂවලට, තම අභිමතය අනුව තම සංචිතයෙන් මන්ත්‍රීන් නම් කිරීමට ඉඩ දිය හැක. මන්දයත්, පෙර සඳහන් කළපරිදි, සියලුම අපේක්ෂකයින් ‘රට පළමු- දේශපාලන වෘත්තිකයන්’ වනු ඇති බැවිනි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 පහත අරමුණු ඉටුකිරීම සඳහා පත්කර ඇති බැවින්, ඔවුනට මැතිවරණ කොට්ඨාස පැවරීම යෝග්‍ය නොවේ.
8. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනා, ‘සෙනෙට්’ මට්ටමේ බහුශ්‍රැතයින් ලෙස, බහු ප්‍රජා ජනගහන අනුපාතයන්ද සලකා බලා, දිස්ත්‍රික් මට්ටමේ නම් කිරීම සඳහා, නිශ්චිත, විනිවිද පෙනෙන නිර්ණායකයින් ඇතුළු ක්‍රමවේදයක් පැනවීම. ඒ අනුව, ඡන්දයෙන් තේරී පත් නොවූ මැතිවරණ අපේක්ෂකයෝ මෙම කාණ්ඩය යටතේ සුදුස්සන් නොවෙති.
9. සුපරීක්ෂණය කළ හැකි සහ විගණනය කළ හැකි ක්‍රියාකාරී සැලැස්මක් සහිතව, යෝජිත ‘පක්ෂ මැතිවරණ ප්‍රකාශනය’ නඩු පැවරිය හැකි ලේඛනයක් බවට සන්නාම ගත කිරීම.
10. සියලු පක්ෂවල ප්‍රධාන කාර්යාල වග කිව යුතු, ‘පොදු ප්‍රචාරක වියදම් සූත්‍රයක්’ නියම කිරීම තුළ ‘සමතලා පිටියක්’සහතික කරන අතර, ප්‍රචාරණය සඳහා මුල්‍ය ශක්තිය නොමැති නියම සුදුස්සන්ටද අවස්ථාවන් ලබා දීම.(මෙය දැනට නීතිගත කර ඇත.)
11.දැඩි සුදුසුකම් සහ ඉහළ මුදල් තැන්පතු අවශ්‍යතා පනවා, කූට හා තැරව්කාර දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අධෛර්යවත් කිරීම.
12. ‘පැති මාරු’ කෝලම තහනම් කර, අදාළ ලියාපදිංචි කුසලතා ලැයිස්තුවේ සඳහන් අනුරූප නමකින් මන්ත්‍රී පුරප්පාඩු පිරවීමට ඉඩ දීම.
13. පළාත් සභා හා මහා මැතිවරණ සමඟ අදාළ ජනමත විචාරණද එක දිනක පැවැත්වීම හා විද්‍යුත් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම හඳුන්වාදීම.
ප්‍රතිලාභ
මැතිවරණ හා දේශපාලන පරිපාලන ක්‍රමවල, උපරිම වියදම් ඵලදායිතාවයක් සහතික කිරීම සඳහා ඉහත සරල ක්‍රමවේදය, විශේෂයෙන්ම ‘බංකොලොත් රටක’ මහා භාණ්ඩාගාරයට දරා ගැනීමට පහසු වන සේ සකස් කර ඇති අතර, ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.
i. ‘ශ්‍රී ලාංකිකත්වය’, සාධාරණත්වය සහ නිරවද්‍යතාවය දක්වා විහිදෙන ‘ඡන්ද සමානාත්මතාවය’ පිළිබඳව, එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනයට සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනුගතවීම තුළ, ගෝලීය ප්‍රශංසාවට ලක්වීම.
ii. ඥාති සංග්‍රහයෙන් හා සාමය කඩවන එදිරිවාදිකම් ඇතිකරන කළු සල්ලිකාර නුසුදුසු ‘හෙන්චයියන්’ වෙනුවට, කුසලතා මත පදනම් වූ ‘රට පළමු – දේශපාලන වෘත්තිකයන්’ පත් වන හෙයින්, ඔව්හු සම්මුතිවාදී වාද විවාද හරහා පාර්ලිමේන්තුවේ ගෞරවය පවත්වා ගනිමින් ‘රටට හා සැමට ජය’ තත්ත්වයක්ද උදා කරනු ඇත.
iii මෙතෙක් කල් සිදු කළ නොහැකිවූ, රට තුළ ඡන්ද සමානාත්මතාවය පවත්වාගන්නා අතරතුර, සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහා අවම වශයෙන් 01 මන්ත්‍රී ධුරයක් අනුයුක්ත කිරීම, කාන්තා, තරුණ හා අඩුවශයෙන් ඡන්ද ලබා ගත් පක්‍ෂද නිසිලෙස ඇතුළත් කර ගැනීම හා ක්‍රමයේ විනිවිදභාවය ඇති කිරීම තුළ, ‘ශ්‍රී ලාංකීය’ ජනතාවගේ සහ සියලුම පක්ෂ/ කණ්ඩායම්වල අපේක්ෂාවන් මෙන්ම ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වීම.
iv. ‘මිශ්‍ර ඡන්ද හා ‘මනාප’ ක්‍රම අහෝසි කිරීම නිසා, මැතිවරණ ක්‍රියාවලිය ඉතා සරල හා වඩාත් අර්ථවත්වී ප්‍රචණ්ඩත්වයෙන්ද තොර වනු ඇත.
v. මනාප ඡන්දය ලකුණු කිරීම අහෝසි වීම තුළ, ‘බූරුවන්’ගේ ලැයිස්තුවලින් ‘අශ්වයන්’ තෝරා ගැනීමේ අසීරු කාර්යයෙන් සරල ඡන්දදායකයින් නිදහස් වේ .
vi. සංකීර්ණ MMV ක්‍රමය යටතේ අත්දුටු විවාදාත්මක අනියම් අනුපාත, ප්‍රමාදයන්ට තුඩු දෙන ‘Overhang’ ප්‍රශ්න හා ආසන සංඛ්‍යාව අයාලේ වැඩිවීම මතු නොවනු ඇත.
vii. සෑම මැතිවරණයකදීම, ඡන්දදායකයින් විසින් යෙදිය යුත්තේ එක ‘X’ සලකුණක් පමණක් බැවින් එක දිනක මැතිවරණ 01කට වඩා පැවැත්විය හැක.
viii. පක්ෂ ප්‍රචාරණ වියදම්, කාලය සහ ශ්‍රමය අපතේ යාම විශාල ලෙස අඩු වනු ඇත.
ix. මැතිවරණ ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශ කළ හැක.
x. සමස්ථ මැතිවරණ අභ්‍යාසය සාමකාමී හා පරිසර හිතකාමී වනු ඇත.
xi. වර්තමාන පාර්ලිමේන්තු සභා ගැබ තුළ, කැපවූ ‘සෙනෙට්’ ඝනයේ බහුශ්‍රැත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29ක් සඳහා ඉඩකඩ ඇති නිසා, දෙවැනි ස්ථරයක් ලෙස බාහිරව ‘සෙනෙට් සභාවක්’ වැනි අමතර වියදම් සහිත ආයතනයක් අවශ්‍ය නොවේ.
xii. ‘පක්ෂ මැතිවරණ ප්‍රකාශනය’ නඩු පැවරිය හැකි ලේඛනයක් බවට සන්නාම ගත වීම තුළ, එය කෙරෙහි විශ්වාසය තබා තම ඡන්දය තීරණය කිරීමට ජනතාව පෙලඹෙනු ඇත.
xiii. ‘හතු පිපෙන්නා’සේ මතුවන කූට හා තැරව්කාර දේශපාලන පක්ෂ අධෛර්යවත් කිරීම; ‘පක්ෂ- මාරු’ මගඩිය අහෝසි කිරීම හා බහු මැතිවරණ පැවැත්වීම වැනි රචකගේ අනෙකුත් ‘ සිස්ටම් චේන්ජ්’ යෝජනා තුළින්, මැතිවරණ ක්‍රමයේ ගුණාත්මක භාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවෙනු බව නිසැකය.
xiv. දිස්ත්‍රික් මට්ටමින් අචල ආසන සංඛ්‍යා තීරණය කර, පළාත් සභා මැතිවරණය සඳහාද යොදා ගැනීමට හැකි වීම.
xv. කාර්යාලයීය වියදම්, කාලය හා ශ්‍රමය බෙහෙවින් අඩුවේ.
‘ජනතාව පදනම් කරගත් සහේතුක දේශපාලන පරිපාලන ක්‍රමයක්’ කරා ‘සිස්ටම් චේන්ජ්’
1.විධායක ජනාධිපති ක්‍රමය වසර 02න් අහෝසි කර, දෙමුහුන් ආකාරයේ විධායක නොවන ජනාධිපති ක්‍රමයක් ඇතිකිරීම;
2.අවශ්‍ය නම් වැඩි බලතල සහිතව පළාත් සභා ‘කොට අදින අලි’ බවට පත්කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ ප්‍රතිලාභ සහේතුක කිරීම;
3.පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනීකරණය කර, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් යෝජිත ‘ජන සභා’ තුළින් ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පයට අනුව ‘ග්‍රාම නිලධාරි වසම්’(GND) මට්ටමින්, ස්වාධීන අපේක්ෂකයින් නම් කිරීම සහ
4. ‘තිරසාර ජාතික කැබිනට් ක්‍රමයක්’ ස්ථාපනය කිරීම සඳහා, පක්ෂ ලබාගත් ජාතික ඡන්ද% අනුව ඇමති ධුර පිරිනැමීම තුළින් සමස්ත දේශපාලන ක්‍රමය සහේතුක කර, ජාතික සමගිය සහ සාමය ඇති කිරීම සඳහා ‘ශ්‍රී ලාංකිකත්වය ‘ පෝෂණය කිරීම රචකගේ මුඛ්‍ය පරමාර්ථය වේ.
ප්‍රතිලාභ
i.වසර 30කට පසුව, පිළිකුලට ලක් වූ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වේ.
ii.පාර්ලිමේන්තුව එකම උත්තරීතර ආයතනය බවට පත් වේ.
iii.ජනාධිපතිවරණයක අධික පිරිවැය දැරීමෙන් බදු ගෙවන්නන් නිදහස් වේ.
iv. ප්‍රාදේශීය පාලන යන්ත්‍රණයේ සැබෑ අරමුණු සාක්ෂාත් වී, ‘ජනතාව පදනම් කරගත් සුහුරු පාලනයක්’ඓතිහාසික යථාර්ථයක් බවට පත්වනු ඇත.
v.පරිධියේ ජනතාවට අපක්ෂපාතී, දූෂිත නොවන, අර්ථවත් හා කාර්යක්ෂම සේවයක් ලැබේ.
vi. දූෂිත දේශපාලඥයින් බෝකරන වත්මන් තෝතැන්න වෙනුවට ‘රට පළමු- දේශපාලන වෘත්තිකයන්’ සඳහා නව තවානක් නිර්මාණය
vii. LG ආයතන ජනතාව වෙත දරන නාස්තිකාර වියදම් නැවතී, සම්පත් ඉතිරි වේ.
viii. පළාත් පාලන මැතිවරණය ඉවත් කිරීමත් සමඟ බදු ගෙවන්නන්ට රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි වන අතර මැතිවරණ දිනයේ පමණක් අපතේ යන මිනිස් පැය මිලියන ගණනක්ද රටට ඉතිරි වනු ඇත.
ix. සමබර පළාත් සංවර්ධනය නිසා ජාතික සංහිඳියා ප්‍රයත්නයන් සාර්ථක වනු ඇත.
x.පරිධියේ සිටින පළාත් සභා නියෝජිතයින්ට නිසි පිළිගැනීමක් ලැබෙනු ඇත.
xi.පා.මන්ත්‍රීවරුන් 225 දෙනාගේ කාර්යභාරය නීති, ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික/විමධ්‍යගත අය වැය සහ මුල්‍ය පරිපාලනයට සීමාවීම තුළ ඔවුන්ගේ ඵලදායි තාවය වැඩිවේ.
xii .පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන සහ වරප්‍රසාද ලබාදීම සහේතුක කළ හැක.
xiii.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘විමධ්‍යගත අරමුදල්’ අවශ්‍ය නොවනු ඇත.
xiv. ‘පහළ සිට ඉහළට දිවෙන’ ප්‍රවේශය රටෙහි ප්‍රධාන තීරණ ගන්නා ආයතනය දක්වා දීර්ඝ වීම.
xv. ‘ශ්‍රී ලාංකිකත්වය’ කුළුගැන්වීම තුළින් ජාතික සංහිඳියාව පෝෂණය කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම.
xvi. ජාතිවාදී පක්ෂ විසින් අලවා තිබූ, ලංකාවේ ඇත්තේ ‘සිංහල රජයක්’ යන ලේබලය ඉවත්වේ.
අවසාන සටහන
වසර ගණනාවක් තිස්සේ දේශපාලඥයින් විසින් තම වැරදිවලට දඬුවම් නොලබමින් හිතුමතේ ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑම නිසා, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ, මුලික ලක්ෂණය වන ‘ප්‍රධානියා/ ඒජන්ත’ ගිවිසුම උඩ යටිකුරු කරමින්, කූට දේශපාලනඥයන් ‘දෙවිවරුන්’ වී, ජනතාව ඔවුන්ගේ අසරණ බැතිමතුන් බවට පත්වී දශක 07ක් ගෙවී ගොස් අවසානය. එබැවින් කඩිනමින් නව ජනපති අනුග්‍රහයෙන් පහත සඳහන් ව්‍යවස්ථාමය සංශෝධනද සිදුකර ‘ප්‍රශස්ත නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ’ ප්‍රතිෂ්ඨාපනය කිරීමද අත්‍යවශ්‍ය වේ.
i) ‘ළබැඳියාවන් අතර ගැටුම’ තුළ, සියලුම ජනතා නියෝජිතයින්, තම සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රියාවලිය, වැටුප්/වරප්‍රසාද ඇතුළු වෙනත් අදාළ සියලු කටයුතුවලට සම්බන්ධවීම තහනම් කිරීම;
ii) ඒ සියලු දෑ සම්බන්ධයෙන් මැතිවරණ හා රාජ්‍යසේවා /වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම්වල අවසාන නිර්දේශයන්, විධිමත් අනුමැතිය සඳහා පමණක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හැකිවීම හා
iii) යථෝක්ත කොම්සම් ඇතුළු අනික් අදාළ කොමිසම් සඳහාද, විශ්‍රාමික විනිසුරුවන්, විද්වතුන්, කැපවූ සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් ගෙන් සමන්විත නිත්‍ය කාර්ය සාධන බළකායන් ස්ථාපනය කර, ජනතාව පදනම්වූ දේශපාලන පරිපාලනය පුළුල් කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කිරීම මගින් මෙරට තුළ ජනතාව බලාපොරොත්තු වන මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කළ හැකිය.
බර්නාඩ් ප්‍රනාන්දු-