මෙරට ඡන්ද පදනමට බලපෑමක් එල්ල කළ හැකි ප්‍රධාන තීරණාත්මක අංශයක් ලෙස වී වගාවට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. අතීත මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර බැලූවිට එය හඳුනාගත හැකිය.
කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය ලෙස සහ රටට බත සපයන ප්‍රධාන අංශය ලෙස වී වගාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. රටේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වී වගාව ප්‍රමුඛ දායකත්වයක් දක්වයි. 2022/2023 මහ කන්නයේ දී වැඩිම වී නිෂ්පාදනයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. එමෙන්ම 2022 වසරේ යල කන්නයේ වී නිෂ්පාදනය සැලකූ විට එහි වැඩිම නිෂ්පාදනයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි දෙවන සහ තුන්වන නිෂ්පාදන පිළිවෙළින් පොලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්වලින් වාර්තා වී ඇත. ආර්ථික වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල වී වගාව ආශ්‍රිතව කුලියට ශ්‍රමය සැපයීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම, වී මිලදී ගැනීම, සහල් ලෙස නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම ආදී අගය දාම අංශ ආශ්‍රිතව ඍජු සහ වක්‍ර රැකියා බිහිවීම වී වගාව ආශ්‍රිතව සිදුවේ. ඊට අමතරව ජෛව විවිධත්වය, පරිසර පද්ධතිවල යහ පැවැත්මට මෙමඟින් ලැබෙන සේවය ඉතා ප්‍රබලය. උදාහරණ ලෙස ගංවතුර පාලනය, භූගත ජල මට්ටම පවත්වාගෙන යාම, ජීවීන් සඳහා වාසස්ථාන සම්පාදනය කිරීම වැනි පරිසර පද්ධති සේවාවන් සැපයීම ද සිදු වේ.ගෝලීය වශයෙන් ඇතිව තිබෙන ප්‍රධානතම අභියෝගයක් වන ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට වී නිෂ්පාදනයෙන් ලැබෙන දායකත්වය ඉහළය.
කෙසේ නමුත් වර්තමානයේ දේශීයව මෙන්ම ගෝලීයව එල්ල වන බලපෑම් හමුවේ මෙරට වී වගාව අභියෝගයට ලක්ව තිබේ. ඉන් වැඩිම බලපෑම එල්ල වන්නේ ගොවි ජනතාවටය. මෙරට වී වගාවේ නිරත වන ගොවීන් අතරින් වැඩි පිරිසක් සුළු පරිමාණ වී ගොවීන් වන අතර, යල සහ මහ කන්නවලදී වැසි ජලය, විශාල වාරි කර්මාන්ත හෝ කුඩා වාරි කර්මාන්තවලින් සම්පාදිත ජලය හෝ භාවිත කරමින් හෙක්ටයාර දෙකකට අඩු භූමි ප්‍රමාණයක වී වගාවේ නිරත වෙන ගොවීන් සුළු පරිමාණ වී ගොවීන් ලෙස හඳුන්වා දිය හැකිය. ඔවුහු එම නිෂ්පාදිතයෙන් ස්වයං පරිභෝජනයට කොටසක් තබා ගෙන, අතිරික්ත වී තොග විකිණීම සිදු කරනු ලබති. ලංකාවේ සමස්ත ගොවි පවුල් සංඛ්‍යාව සලකා බැලීමේ දී සියයට තිහක්, නොඑසේනම් පවුල් මිලියන 1.8 පමණ පිරිසක් වී වගාවේ නිරත වෙති. ඉන් මිලියන 1.65ක් පමණ කුඩා පරිමාණයේ වී වගා ගොවීන් වන අතර ලෝක බැංකු වාර්තා සහ පරීක්‍ෂණ පත්‍රිකාවල දත්ත අනුව මොවුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බව සඳහන් වේ. එම ප්‍රමාණයෙනුත් වැඩි පිරිසක් දිළිඳු පවුල් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව බලන කල රටෙහි ඇතිවන සුළු හෝ ආර්ථික, දේශපාලන හා සමාජමය කැලඹීම් මෙරට ගොවි සමාජයෙහි අවදානම්කාරී බව තවදුරටත් වර්ධනය කරනු ඇත.
සුළු පරිමාණ වී ගොවීන්ට එල්ල වන ප්‍රධානතම අභියෝගය වන්නේ වී සඳහා නිසි මිලක් නො පැවතීමයි. යල සහ මහ කන්නවලදී වී වගා බිම් ආශ්‍රිතව විවිධාකාර ලෙස වී මිලදී ගැනීම සිදුවන නමුත් ගොවීන්ගේ වියදමට සරිලන මිලක් ඊට නියම නොවීම ගොවීන්ගෙන් නිරන්තරයෙන් පැමිණෙන මැසිවිල්ලකි. මෙහිදී චෝදනාව වී මිල දී ගන්නා පාර්ශ්ව ගොවි ජනතාව වෙත යොමු කරන්නේ වීවල තෙත ස්වභාවය වැඩි විම ආදී ගුණාත්මකභාවයේ අඩුපාඩු පෙන්වමිනි.ඇතැම් අවස්ථාවලදී ගොවිජනතාවට ද යම් යම් බන්ධනයන් මත අඩු මිලට වී අලෙවි කිරීමට සිදු වේ. උදාහරණ ලෙස ග්‍රාමීයව වී එකතු කරන්නන්ගෙන් ණය මුදලක් ලබාගෙන අදාළ ගොවියා සිය වගාවේ නිරත වූයේ නම්, වී මිලදී ගැනීමේ දී අදාළ එකතු කරන්නාටම අඩු මිලකට අලෙවි කර මුදල් පියවීමට ගොවීන් උත්සුක වේ. වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වැනි ආයතන පවතින නමුත් සීමාසහිත ගබඩා පහසුකම්, මිලදී ගැනීම් සඳහා ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නොමැති වීම, සේවකයන් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු පවතින බැවින් පුද්ගලික අංශයට පවතින මිලකට විකිණීම හැර වෙන විකල්පයක් ඔවුන්ට නොමැත. කොවිඩ් 19 තත්ත්වයත් සමඟ ඇති වුණු ආර්ථික අස්ථාවරභාවය වී ගොවීන්ට එල්ල කළේ මරු පහරකි. විශේෂයෙන්ම රුපියල අවප්‍රමාණය වීමේ සහ ආනයන සීමා පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස වී වගාවට අවශ්‍ය යෙදවුම්වල මිල ඉහළ ගිය අතර, රසායනික පොහොර මිල ශීඝ්‍රයෙන් වර්ධනය විය. එම මිල ඉහළ යාම කිසිසේත්ම දරා ගත නොහැකි තත්ත්වයේ පැවතිණි. විවිධ රජයන් විසින් ගනු ලැබූ අදූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගද වී වගාවේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට හේතු විය. විශේෂයෙන් රසායනික පොහොර ආනයන තහනම සහ වල්නාශක තහනම ඒ අතරින් කැපී පෙනේ. එම වකවානුව තුළ කළුකඩ මිලට රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය අලෙවි වීමද සිදු විය. එලෙස ඉහළ ගිය මිල, තවමත් සැලකිය යුතු ලෙස අඩු වී නොමැත. එමෙන්ම නිසි කාලයට අවශ්‍ය පොහොර, නිලධාරින් මඟින් ගොවීන්ට බෙදා හැරීමේ ප්‍රමාදයන් වාර්තා වේ. එල්ලවන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශගුණ රටාවල සිදුවන විපර්යාසයන්ය. වාර්ෂිකව ගංවතුර නිසා වී වගාවට එල්ලවන හානිය සුළුපටු නොවේ. මෑත කාලයේ සිදු කරනු ලැබූ පර්යේෂණවලට අනුව වර්ෂාපතනයේ තීව්‍රතාවේ සිදුවන නිරන්තර උච්චාවචන, නියං තත්ත්ව නිරන්තරයෙන් වී අස්වනු අවම කිරීමට හේතු වන බව දක්වා ඇත. එවැනි තත්ත්ව නිසා ජනතාව වී වගාවෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් ද ඇතිව තිබේ. ඉඩම්වල අයිතිය සම්බන්ධව ඇතිවන ගැටලු ද ගෙන දෙන්නේ වී වගාවට අහිතකර බලපෑමකි. ඊට අමතරව නාගරීකරණය නිසා සිදුවන කෘෂිකාර්මික භූමි ඛණ්ඩනය වීම ප්‍රධාන වශයෙන් දැකගත හැකි තවත් අභියෝගයකි. ජනගහනය වර්ධනය වීමත් සමඟ, ඒක පුද්ගල භූමි පරිහරණය ක්‍රමානුකූලව අඩු වී ඇත. නැතිනම්, එක් පුද්ගලයකු විසින් පරිහරණය කරන භූමි ඒකක ප්‍රමාණය අඩු වී ඇත. වී වගා කටයුතුවලට තරුණ ප්‍රජාවගේ සහභාගීත්වය අවම වීම තවත් ප්‍රධාන අභියෝගයක් බවට පත් වී ඇත. මෙම සෑම අභියෝගයකින්ම වී නිෂ්පාදනය සීමා වී ඇති අතර, එමගින් ලැබෙන ආදායම සීමා කර ඇත. අවසානයේදී ගොවීන්ගේ ජීවන තත්ත්වය පහතට ඇද දැමීමට මෙම ගැටලු හේතු වේ.
මෙරට ඡන්ද පදනමට බලපෑමක් එල්ල කළ හැකි ප්‍රධාන තීරණාත්මක අංශයක් ලෙස වී වගාවට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. අතීත මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර බැලූවිට එය හඳුනාගත හැකිය. ආසන්න වශයෙන් වී වගා කරන ගොවි පවුලක පුද්ගලයන් හතර දෙනෙකු සිටි යැයි උපකල්පනය කළහොත්(වී වගා කරන ගොවි පවුල් ගණන මිලියන 1.8) මිලියන 7.2 නැතිනම් ලක්ෂ 72ක් පමණ ජන සංඛ්‍යාවක් ඒ තුළින් නිරූපණය වන අතර මෙරට 2023 ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාවෙන් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් එයට අන්තර්ගත වේ. ඒ අනුව අප මේ ගත කරන පූර්ව මැතිවරණ කාලසීමාවට ආසන්න කාලයේදී මෙරට සුළු පරිමාණ වී ගොවීන් ඇතුළු වී ගොවීන්ගේ ගැටලු නිවැරදිව හඳුනා ගැනීම සහ ඒ සඳහා තිරසර විසඳුම් ලබාදීමට ගන්නා උත්සාහය රටේ දිශානතිය තීරණය කිරීමටද දායක වනු ඇත. ඒ අනුව රටේ බලය තීරණය කිරීමේ තීරණාත්මක සාධකයක් බවට ද මේ සුළු පරිමාණ වී ගොවීන් පත් වනු ඇත.ඒ අනුව අදාළ දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වීමේදී මෙහි සඳහන් ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳව පුළුල්ව අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. ඒ අනුව වී ගොවීන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලෙස වී සඳහා සාධාරණ මිලක් නියම කිරීම අත්‍යවශ්‍ය වන අතර, වී මිල දී ගැනීම් බහුලව සිදුවන කාල සීමාවන්හිදී වෙළෙඳපොළ තුළ ඇතිවන්නා වූ තත්ත්වයන් නවත්වාලීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන්නාවූ ආයතන බලගැන්වීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. පොහොර සහනාධාර හෝ සහන මිලට පොහොර ලබා ගැනීමට වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතු අතර පෙර රජයන් අනුගමනය කළ රුපියල් 350ට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ, රුපියල් 2500ට පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන්ම රසායනික පොහොර සහ කාබනික පොහොර මිශ්‍ර කර ඒවා ගොවීන්ට සහනාධාර ක්‍රමයට ලබා දීම වැදගත් වේ. සහනාධාර ලබා දීම බොහෝ සමාජ වපසරියන් තුළ විවේචනයට ලක් වුවද පවතින ආර්ථික අර්බුදයන් හමුවේ එවැන්නක් ලබාදීම කාලෝචිතය. එය වී වගාවෙන් ගොවීන් ඉවත්වීම අවම කර ගැනීමට දායක වනු ඇති අතර වෙනත් රටවල්වලින් සහල් ආනයනය කිරීම වෙනුවට මෙවැනි සහන ලබාදීම වඩාත් ලාභදායක වේ. දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට අවශ්‍ය තාක්ෂණික පුහුණුව හා දැනුම හොඳින් තේරුම්ගත හැකි සන්නිවේදන මාධ්‍යන් ඔස්සේ ගොවීන්ට ලබාදීම වැදගත් වන අතර, ලෝක බැංකු ආධාර මත මෙරට දේශගුණ සුහුරු කෘෂිකාර්මික වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනු ලබයි. තවද ඉඩම් ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා ගත හැකි නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීම සහ බලාත්මක කිරීම වඩාත් සුදුසුය. විශේෂයෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීම මෙහිදී වැදගත්ය. කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් හට හොඳ සමාජ පිළිගැනීමක් ඇතිවන ලෙස වෘත්තීයමය පිළිගැනීමක් ඇති කිරීම, කෘමි හා වන සතුන්ගෙන් සිදුවන්නා වූ හානිය පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම, වී වගාව සඳහා අවශ්‍ය සහනාධාර, ණය පහසුකම් වැනි දේවල් ලබාදීම රජය මඟින් සිදුකිරීම තුළින් වී වගාවට එල්ල වී ඇති අභියෝග අවම කර ගැනීම වඩාත් පහසු වනු ඇත. ඒ වගේම, වත්මන් තරුණ පරපුර තාක්ෂණය සමඟ බද්ධ වූ පිරිසක් වන අතර, සුහුරු ලෙස සිය කටයුතු කිරීමට ඔවුහු උනන්දුවක් දක්වති. එබැවින් බොහෝ තරුණ පිරිස් මඩ තවරා ගෙන වී ගොවිතැන් කරනවා වෙනුවට සුහුරු තාක්ෂණික ශිල්ප ක්‍රම ඔස්සේ වී වගා කටයුතුවලට උනන්දු කරවීම වැදගත්ය. එවැනි නව තාක්ෂණික ක්‍රමවේදයන් වන හරිතාගාර තුළ වගා කිරීම, පාංශු රහිත වගාක්‍රම ප්‍රචලිත කිරීම්, ඩ්‍රෝන සහ සංවේදක තාක්ෂණයන් භාවිතය වැනි ක්‍රමවේද කෘෂිකාර්මික කටයුතුවල ක්‍රියාවලි සඳහා භාවිතය ප්‍රචලිත කිරීම, භූගෝල විද්‍යා තොරතුරු පද්ධති තාක්ෂණය භාවිතා කර දත්ත විශ්ලේෂණය කිරීම, මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වන ස්වයංක්‍රියකරණ තාක්ෂණයන් සහිත යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම සහ මෙවැනි තාක්ෂණික ක්‍රමවේද සඳහා ප්‍රවේශයට බාධා වන මූල්‍යමය සංරෝධක සඳහා ඇති බාධා ඉවත් කිරීම ඉතා වැදගත්ය. නැතිනම්, එවැනි අවස්ථා ධනවත්, ව්‍යවසායක මට්ටමේ වී ගොවීන්ට පමණක් ලබා ගත හැකි වනු ඇත. අනෙකුත් වී ගොවීන් සමාජයෙන් ඉවත්ව යාමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. එමෙන්ම නව තාක්ෂණික දැනුම විධිමත් අයුරින් ජනගත කිරීමට, එම දැනුම් පද්ධති වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ ඒකාබද්ධ කිරීම වැදගත් වේ. එමඟින් විධිමත් රැකියා අවස්ථා සඳහාද අවස්ථා පුළුල්වනු ඇත.විශේෂයෙන්ම මෙම යෝජනා කෙටි කාලීන, මධ්‍යකාලීන, සහ දිගු කාලීනව විධිමත් මාර්ග සිතියමක් සහිතව ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ ජනගත කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම රජය විසින් හෝ බලය ලබාගැනීමට අපේක්ෂා කරන අනෙකුත් පක්ෂ, වී වගාව සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ තීන්දු ගැනීමේදී, විද්‍යාත්මක සහ සමාජ පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව එම තීන්දු ගැනීම අත්‍යවශ්‍ය වේ.එවැනි ප්‍රතිපත්තිමය තීන්දු හා ඒවා ක්‍රියාත්මක කිරීම වී වගාවේ ස්ථිරසාර සංවර්ධනයටත්, වී ගොවීන්ගේ සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනයටත් හේතු වනු ඇත.මෙවර මැතිවරණ සිතියම වෙනස් කළ හැකි තීරණාත්මක බලපෑම් කණ්ඩායමක් ලෙස සුලු පරිමාණ වී ගොවින්ගේ අභියෝග සහ ගැටලු ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වන අතර සබුද්ධික පිරිස් ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම ඔවුනට වාසිදායක වනු ඇත.
කථිකාචාර්ය
පසිඳු ජයතිලක
භූගෝලවිද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය