Home » ඡන්දය දා අමුතු රෑ

ඡන්දය දා අමුතු රෑ

by sachintha
August 19, 2024 12:38 am 0 comment

ජනාධිපතිවරණය සමඟ නැවතත් මැතිවරණ පිළිබව රස මතක අවදිවෙමින් තිබේ. අද මැතිවරණය කරන්නේ වට්ස්අප් සමූහ ඔස්සේය මුහුණුපොත ඔස්සේය. සමහරු ජනාධිපතිවරණ ව්‍යාපාරයම කරගෙන යනු ලබන්නේ මුහුණු පොත හරහාය අද ෆේස්බුක් ජනාධිපතිවරුද සිටිති. එම මාධ්‍ය ඔස්සේ රටේ සමස්ත චිත්‍රයම නොවේ.එහෙත් මෙම නව මාධ්‍යද මැතිවරණයට යම් අගයක් සහ රසයක් එකතු කරයි. එහෙත් අද එදා මෙන් මැතිවරණ ව්‍යාපාරය මෙන්ම මැතිවරණය ආශ්‍රිත ක්‍රියාකාරකම්ද එතරම් රසවත් නැත. සියල්ලම දුරකතනයට රොක්ව තිබේ. එහෙත් එදා තිබුණේ එවැනි අතීතයක් නොවේ. මැතිවරණ කාලය මෙන්ම මැතිවරණ ප්‍රතිඵල ඇසීමද රසවත්ය. එදා මැතිවරණයක් යනු වෙනම සංස්කෘතියකි. අද අප ඡන්ද ප්‍රතිඵලය අසන්නේ නැත, ටෙලිෆෝනයට එන කෙටි පණිවුඩයකින් අප නිදියහන මත සිටම මෙම ප්‍රතිඵලය දැක බලා සතුටු වෙමු. එහෙත් මෙහි එයින් එහා ගිය දෙයක් නැත. මැතිවරණ රැස්වීම් වුවද අද ඒවා මුදල් ගනුදෙනුය. සල්ලි ලැබෙයි නම් ඕනෑම රැස්වීමකට යන පිරිසක් අද සිටිති. එහෙත් එදා තිබුණේ වෙනම රැල්ලකි. බණ්ඩාරනායක මැතිනිය බලන්නටම නගරයේ රැස්වීමට අතින් මුදල් වියදම් කරගෙන පා ගමනින් යන පිරිස් සිටියහ. ඔවුනට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණි, ඔවුනට ලැබුණ එකම සැනසීම වූයේ මැතිනිය සියැසින් දැකීම පමණය. තවත් අය ඩඩ්ලි බලන්නට ගියහ. රණසිංහ ප්‍රේමදාස මහතාට කැමැති පිරිසක්ද සිටියහ. ඔහුට ආදරය කළ පිරිස් ප්‍රේමදාසගේ කතා ඇසීමටම රැස්වීම් බැලීමට ගියහ. මේ සියල්ල මැතිවරණ සංස්කෘතියේ අංග බවට පත්ව තිබුණි.

ඊට එහා ගිය අතීතය දන්නෝ කියන්නේ තවත් කතාවකි,1956 පෙරළියේ අසිරිමත්භාවය ගැන ඔවුන් සඳහන් කරති. ඒ අයට අනුව බණ්ඩාරනායක මහතා කතාව පවත්වන්නේ ගාලු මුවදොර පිටියේය. ජන ගඟ ලේක්හවුසිය අසලට තරම් දිගය. එදා මැතිවරණය යනු තවත් එක් සමාජ අංගයකි. සිංහල අවුරුද්ද නත්තල මෙන් මැතිවරණයද සමාජය ඉදිරියේ නිර්මාණය කළේ උත්සව සිරියකි. සාදයකි.

ගමේ සිටින්නේ දෙකොටසකි. එක් පිරිසක් යූ ඇන් පී කාරයන්ය. අනෙක් පිරිස වමට බර අයය. ඒ අයගෙන් වැඩි කොටසක් 1970 අවුරුද්ද වන විට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකා කාරයන් කියාය. ඒ අතර සමසමාජ , කොමියුනිස්ට් කාරයන්ගෙන්ද හිඟයක් නොතිබුණි.මේ අය කුමන දේශපාලන අදහසක් දැරුවද ඒ ඡන්ද කාලයට පමණි. ඡන්දයෙන් පසු ඔවුන්ට දේශපාලනය අදාළ නැත. සියල්ලෝම මාමලාය නැන්දලාය දුවලා පුතාලාය. එදා ගැමියන් ජීවිතය සහ දේශපාලනය සම්බන්ධ කර ගත්තේ එසේය. මැතිවරණයේදී සිත් අමනාපකම් සිදු වුවද ඒවා මැතිවරණය අවසන්ව ප්‍රතිඵල විත් සතියකින් අමතකය.

ගමේ අය ඡන්ද ප්‍රතිඵල ඇසුවේ ගුවන්විදුලියෙනි. එහෙත් අද මෙන් සෑම ගෙදරකම ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණි. පත්තරේ ආවේද ගමේ තේ කඩයට පන්සලට පමණි.

එනිසා ගමට තොරතුරු ගලා ආවේ කොළඹ ගුවන්විදුලියෙන් සහ දිනමිණ පත්තරයෙනි. එනිසා මැතිවරණය දා රැය යනු ගමට අමුතු රැයකි.ගමේ සියල්ලන් එක තැනකට රැස්වන්නේ අවුරුද්දට අවුරුදු උත්සවයට රැස්වන්නාක් මෙනි. එතැන කැවුම්, වැලිතලප, මෙන්ම කෝපිවලින්ද හිඟයක් නැත. රේඩියෝ එකක් තිබුණු ගෙයක් යනු එකල යමක් කමක් ඇති ගෙදරකි. ගමටම සත්කාර කිරීමට ලැබීම ගැන ඔවුනට ඇත්තේ ආඩම්බරයකි. ප්‍රතිඵල ඇසීමට එන අයද හිස් අතින් නොඑති. ඔවුන්ද මොනවා හෝ අඩුම කුඩුම රැගෙන එති. රහසින් මත්වන්නෝද නැතිවාම නොවේ.

ගුවන්විදුලියේ ප්‍රතිඵල විකාශය කිරීමට පෙර වාදනය වන්නේ ,,රත්න දීප ජන්ම භූමි,, ගී අනුවාදනයයි. ඒ සමඟ තැන තැන සිටින්නෝ ගුවන්විදුලිය අසලට ළං වෙති.එදා ඡන්ද ප්‍රතිඵල ලිවීමට කැමැති පිරිසක් ද සිටියෝය. ඒ අය වෙනුවෙන් පත්තරවල වෙනම පොත් තිළිණ ලබා දීමද එකල ජනප්‍රිය අංගයක්ව පැවැතුණි.එසේ සටහන් කරන පොත් සහ පෙර මැතිවරණවල ප්‍රතිඵල පොත් රැගෙන සසැඳීම එකල ප්‍රමුඛ විනෝදාංශයක්ව පැවැති දෙයකි. ඒ තරමටම එදා ගමට දේශපාලන උණ හැදී තිබුණි.

එදා දේශපාලනයද අද මෙන් ජනතාවගේ දොසට ලක්ව නොතිබුණි. බොහෝ අය තම ගමේ මන්ත්‍රීවරයාට සලකන ලද්දේ තමන්ගේම නෑදැයකුට මෙනි. කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි, මැදවච්ච්යේ මෛත්‍රීපාල සේනානායක,ගම්පහ ඇස්.ඩි. බණ්ඩාරනායක, මෙන්ම යූ.බී වන්නිනායක වැන්නන් වාර හතර පහ තම ඡන්ද බල ප්‍රදේශ ජයග්‍රහණය කළේ ඒ නිසාය.

අසූව දසකය වන විට ගුවන්විදුලියට තිබුණු තැන කෙමෙන් රූපවාහිනිය වෙත ලැබුණි. ඒ සමඟ ගමේ රූපවාහිනි යන්ත්‍රයක් තිබෙන නිවෙසට රොක්වීමට ගමේ අය අමතක නොකළ අතර එදා තිබූ විනෝදයම රූපවාහිනියෙන් ප්‍රතිඵල බලද්දීද තිබුණි. එදා ගුවන්විදුලියෙන් ගිය ගීත වෙනුවට දැක ගැනීමට ලැබුණේ ප්‍රතිඵල අතර යන ජනප්‍රිය චිත්‍රපටය.

සමහර විත්‍රපට දවස් දෙකක් ප්‍රචාරය වීමට තරම් දීර්ඝ ඒවා වූයේ අන්දෙයක් නිසා නොව ඡන්ද ප්‍රතිඵල සහ වෙළෙඳ දැන්වීම් අතර චිත්‍රපටයේ පොඩි කෑල්ලක් ප්‍රදර්ශනය වීම නිසාය. එදා ඒ ආකාරයට සියුම් මිහිරක් ඉතිරි කළ මැතිවරණ ප්‍රතිඵල රසය සහ මැතිවරණ සමය කාලයත් සමඟ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන්නේ සමාජයේ අනෙක් ඒවා සේම සාමාන්‍යකරණය වීම නිසාය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT