වසර 2022 යල කන්නයේ සිට 2024 වසරේ යල කන්නය දක්වාවූ වගා කන්න 05 තුළ වී වගා කරන ගොවීන්ට රජය රුපියල් මිලියන 50,000ක පොහොර සහනාධාරය දී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා (16) බෙලිඅත්තේදී ගොවි නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය. “වසර 2021 මහ කන්නයේදී වී වගාවට අවශ්‍ය රසායනික පොහොර තිබුණේ නෑ. පුද්ගලික අංශය යූරියා පොහොර මිටියක් රුපියල් 42,000ක මිලකට අලෙවි කළා. ගොවියන් තමන්ගේ රත්රන් බඩු පවා උකස් කර රුපියල් 42,000කට යූරියා පොහොර මිටියක් ගෙනැවිත් ඒක ටික ටික කුඹුරුවලට යෙදුවා. ඒත් රුපියල් 42,000කට වත් මිලදී ගැනීමට යූරියා පොහොර රටේ තිබුණේ නෑ. නමුත් බලයට පත් වූ වහාම ජනාධිපතිවරයා ගොවීන්ට යූරියා පොහොර දීමට තීරණය කළා. 2022 යල කන්නයේදී යූරියා පොහොර මිලදී ගන්න රජයට මුදල් නොමැති වුවත්, ඉන්දියන් ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ගෙනැවිත් ගොවීන්ට දුන්නා. ඒ සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.”
බුද්ධිකා ඉඹුලාන