අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක පියල් දුණුසිංහ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියයි.
“අරගලය පැවති 2022 මැයි මස නව වැනිදා නිට්ටඹුව නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන යන දෙදෙනාගේ ඝාතන සිද්ධි සම්බන්ධව පරීක්ෂණවලින් සියයට 75ක්ම සිදු කළේ සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගෙනයි. එහිදී සැකකරුවන් දහතුන් දෙනකු පිළිබඳ විමර්ශන සිදු කළා. එකොළොස් දෙනකු මා විසින් අත්අඩංගුවට ගත්තා. දෙදෙනකු ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන මහතා විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ සඳහා සමාජ මාධ්‍යවල දර්ශන ද, මාධ්‍යවේදියාගෙන් ගත් වීඩියෝ දර්ශන ද උපයෝගී කර ගත්තා.” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක පියල් දුණුසිංහ මහතා අදාළ නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂි දෙමින් ගම්පහ මහාධිකරණයේදී ඉකුත් දින ප්‍රකාශ කර සිටියේය.
පැමිණිල්ලේ 103 සාක්ෂිකරු වශයෙන් විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පියල් දුණුසිංහ මහතා එසේ පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකොට තිබේ.
සහන් මාපා බණ්ඩාර, රුවන් පතිරණ සහ රශ්මි සිංගප්පුලි යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාග කෙරේ.
මෙහිදී විත්තියේ නීතිඥ ලාල් කුමාර පේළී මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් උප පොලිස් පරීක්ෂකවරයා මෙසේ ද කීවේය.
විත්තියේ නීතිඥවරයා –
සාක්ෂිකරු කාගේ නියෝගයකට අනුව ද මේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කළේ
සාක්කිකරු –
පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් ඇතිව 2022 මැයි මස 13 වැනි දින සිට මා විමර්ශන කටයුතු සඳහා පත්කර තිබෙනවා. ඒ සඳහා ලිඛිත නියෝගයක් ද ලැබී තිබෙනවා.
ඒ අනුව එම සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරී ලෙස කටයුතු කරන බවට වැඩිදුර වාර්තාවකින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මැයි මස 13 වැනි දින දැනුම් දීමට පියවර ගත්තා.
විත්තියේ නීතිඥ –
ඒ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණාද?
සාක්ෂිකරු –
ඒ වන විට පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනකු 15 වැනිදා අත්අඩංගුවටගෙන ඇති බව තොරතුරු ලැබුණා. ඒ පළමු වන සහ දෙවන සැකකරුවන්.
විත්තියේ නීතිඥ –
ඔබ ප්‍රධාන විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු භාර ගත් පසුව වෙනත් කිසිම නිලධාරියකුට අත්අඩංගුවට ගැනීම් සිදු කළ නොහැකි බව ඔබ මූලික සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබූ බව පිළිගන්නවාද?
පිළිතුර –
පිළිගන්නවා. ඕනෑම වෙලාවක ඕනෑම නිලධාරියකුට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා.
විත්තියේ නීතිඥවරයා –
ඔබ බෞද්ධයකු ලෙස ඇත්ත කියනවා කියලා දිවුරුම්දී බොරු කියන බව යෝජනා කරනවා.
සාක්ෂිකරු –
පිළිගන්නේ නැහැ.
විත්තියේ නීතිඥයා –
පළමු වන සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කළේ කවුද?
සාක්ෂිකරු –
එම සැකකරුවන් පැය 48ක රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට මැයි මස 15 වැනි දින අධිකරණයට ඉදිරිපත් කළා.
පළමු වන චූදිතව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සටහන් පෑනෙන් කපලා වෙනස් කර තිබෙන බව පිළිගන්නේ නෑ.
වැඩිදුර වාර්තාවකින් සැකකරුවන් පැය 48ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝගයක් ඉල්ලා සිටියා.
හිතට එන එන දේ කියන බව පිළිගන්නේ නෑ. සංකීර්ණතාව මත යම් යම් වෙනස්කම් සිදුවිය හැකියි. පළමු වන සැකකරුට සී.සී.ටී.වී. දර්ශන පෙන්වා අනිත් සැකකරුවන් හඳුනාගැනීමට ක්‍රියා කළා.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ගෝනවල මහතාගේ සී.සී.ටී.වී. දර්ශන කණ්ඩායමක් ලෙස නරඹා නිලධාරීන් සමඟ සාකච්ඡා කොට සැකකරුවන් හඳුනාගත්තා. නිලධාරීන්ගේ ජංගම දුරකථනවලට සහ පරිගණකවලට දර්ශන ඇතුළත් කොට වැඩිදුර විමර්ශන සිදු කළා.
සැකකරුවන් දහතුන් දෙනකු පිළිබඳව විමර්ශන සිදු කළා. දෙදෙනකු පොලිස් නිරීක්ෂක චන්දන මහතා විසිනුත්, එකොළොස් දෙනකු මා විසිනුත් අත්අඩංගුවට ගත්තා. සමාජ මාධ්‍යවල දර්ශන ද, මාධ්‍යවේදියාගෙන් ගත් වීඩියෝ දර්ශන ද උපයෝගී කර ගත්තා.
ත්‍රීරෝද රථයකින් ගිහින් අත්අඩංගුවට ගෙන ඒම සිදු කළ බව කීම පිළිගන්නේ නෑ. ජීප් රථයකින් ගිහින් නිහාල් පැෙෂන් එක ළඟදී සැකපිට කීප දෙනකුම අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ ක්‍රියාකාරකම් අනුවයි අත්අඩංගුවට ගත්තේ. පළමු වන සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බොරු සාක්ෂි දෙන බව කීම පිළිගන්නේ නෑ.
විත්තියේ නීතිඥ –
තුන් වන සැකකරු පැලඳ සිටින වර්ගයේ ටී ෂර්ට් ඇත්තේ එකක් පමණද?
සාක්ෂිකරු –
තව ඕනෑ තරම් තියෙන්න පුළුවන්.
විත්තියේ නීතිඥ –
තුන් වන චූදිත සී.සී.ටී.වී. රූප රාමුවල නැති බව යෝජනා කරනවා.
සාක්ෂිකරු –
පිළිගන්නේ නෑ. ටී ෂර්ට් එක අවස්ථා කිහිපයකදීම හඳුනාගෙන නිවෙසේදී තමයි අත්අඩංගුවට ගත්තේ.
විත්තියේ නීතිඥ –
තමා හෘද සාක්ෂියට අනුව කටයුතු කරන නිලධාරියකු නොවන බව යෝජනා කරනවා. අමූලික බොරු සාක්ෂි දෙන සාක්කිකරුවකු බවත් යෝජනා කරනවා.
සාක්ෂිකරු –
මගේ හෘද සාක්ෂියට අනුවයි සියලු විමර්ශන සිදු කළේ. අසත්‍ය සහ අමූලික බොරු සාක්ෂි දෙන සාක්කිකරුවකු නොවේ. එම යෝජනාව පිළිගන්නේ නෑ.
විත්තියේ නීතිඥ මනුජය සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ ද කීවේය.
2022 මැයි මස දහ තුන් වැනිදා පත්වීම ලැබූ පසුව පළමුවෙන්ම නිහාල් fashion ආයතනයට ගිහින් සිද්ධිය පිළිබඳව දළ අවබෝධයක් ගත්තා. මැයි මස 14 වැනි දින නිලධාරීන් කණ්ඩායමක් සමඟ පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළා.
වැදගත් රාජකාරියක් කළොත් දිනය වෙලාව දමා සටහන් යොදනවා. පස්වන විත්තිකරු අත්අඩංගුවට ගත්තේ නිට්ටඹුව පොලිසිය ඉදිරිපට එළවළු වෙළෙඳසලේදී මැයි මස 18 වැනිදා පැය 13.15ට කියා සටහන් යෙදුවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක ගෝනවල මහතාගෙන් ගත් වීඩියෝ දර්ශන 20 වැනි දින වනතුරු භාවිත කළා. ශක්ති වයින් ස්ටෝස් මීමන මහත්මියගේ නීතිඥ කාර්යාලය හා මාධ්‍යවේදියාගෙන් ගත් වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන විමර්ශන කටයුතු සිදු කළා. අනතුරුව අවසන් නිගමනයකට එළඹුණේ.
විත්තියේ නීතිඥ –
පස්වන සැකකරු පිළිබඳව කුමන හෝ තොරතුරක් අනාවරණයවී තිබෙනවාද?
සාක්ෂිකරු –
පෞද්ගලික ඔත්තුකරුවන් මඟින් ඔහුගේ නම පිළිබඳව දැනගෙන අත්අඩංගුවට ගත්තා. වැඩි අවධානයක් යොමු කළේ අදාළ විත්තිකරුවන්ගේ ක්‍රියා පිළිබඳවයි. මැයි මස 18 වැනි දිනට පෙර කිසිම අවස්ථාවක එළවළු කඩේට ගියේ නෑ. මම තමයි පස්වැනි විත්තිකරු අත්අඩංගුවට ගත්තේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ගෝනවල මහතාගේ හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ වීඩියෝ දර්ශන සියල්ල නැරඹුවා. නිලධාරීන් කණ්ඩායමක් වශයෙන් බෙදිලා තමයි කටයුතු කළේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ නීතිඥ පංචාලී පතිරණ හා ධනුෂ්ක රාහු බද්ධ යන නීතිඥවරුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය මේ මස 22 වැනි දිනට කල් තැබිණි.
ගම්පහ අධිකරණ වාර්තාකරු