Wednesday, April 23, 2025
Home » පොලිස් වෙඩි පහරින් වන අලියෙක් මරුට

පොලිස් වෙඩි පහරින් වන අලියෙක් මරුට

බකමූණ දම්පුර මහපාරේ නිතර ගිය රාජා කාටවත් කරදරයක් කර නෑ -ගම්මු දැඩි වේදනාවෙන්

by sachintha
August 17, 2024 1:22 am 0 comment

පාරේ මැරී වැටි සිටි අලියා මහ රෑම බැකෝවකින් වෙන මාර්ගයකට තල්ලු කර දමලා

 

දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී බකමූණ පොලිසියේ නිලධාරින් කිහිපදෙනෙකු විසින් 15 වැනිදා රාත්‍රී 11.45ට පමණ සිදු කළ වෙඩි ප්‍රහාරයකින් වන අලියකු මියගොස් ඇති බව ඇළහැර වනජීවී කාර්යාලය පවසයි.

වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු බව ඒ ගැන පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ උස අඩි අටකින් යුත් ‘‘රාජා” නමින් ප්‍රදේශවාසීන් හඳුන්වන වන අලියෙකි.

බකමූණ දම්පුර ප්‍රදේශයේ මහමඟ මේ වනඅලියා රාත්‍රී කාලයේ රැඳී සිටින අවස්ථාවේදී බකමූණ පොලිසියේ රාජකාරි කළ පොලිස් නිලධාරින් තිදෙනකු පොලිසියේ ත්‍රිරෝද රථයෙන් යන අවස්ථාවේදී ත්‍රිරෝද රථයට වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් පොලිස් නිලධාරින් මේ වෙඩිතැබීම කර ඇතැයි බකමූණ පොලිසිය කියයි.

වෙඩි වැදීමත් සමඟ වැටුණු වනඅලියා ප්‍රධාන මාර්ගයේම මියගොස් තිබුණු බව ප්‍රදේශවාසීහු පවසති. මේ සිදුවීමෙන් රාත්‍රී කාලයේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර යම් උණුසුම් තත්ත්වයක් ද ඇතිවී තිබේ. වනඅලියා මිය යෑමෙන් අනතුරුව රාත්‍රි කාලයේම බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන මහ මඟ මිය ගොස් සිටි වන අලියාගේ සිරුර එතැන සිට මීටර් පනහක් පමණ දුරකින් වෙනත් මාර්ගයකට තල්ලු කර දමා තිබුණු බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මේ වන අලියා වසර ගණනාවක සිට බකමූණ දම්පුර දමනයාය ආදී ප්‍රදේශවල ගෙවතුවලත් මහමඟත් නිතර නිතර ගැවසෙන බවයි.

මේ වන අලියාට ප්‍රදේශයේ ජනතාව ආහාර පාන පවා ලබාදෙන අතර, අලියාගෙන් කිසිම අයෙකුට හානියක් මෙතෙක් සිදුවී නැති බවත් මහමඟට පැමිණ වාහනවලින් දෙන ආහාර පවා ලබා ගන්නා බවද ගම්මු දැඩි වේදනාවෙන් පැවසූහ. මෙතෙක් කිසිම අයෙකුට කරදරයක් හෝ හිරිහැරයක් නොකළ බවත් නිවෙස් ආසන්නයට පැමිණෙද්දී රාජා යන්න කියන අවස්ථාවන්හිදී ඔහු ජනතාවට ඇහුම්කන් දෙන වන අලියකු බවද ඔවුහු දැඩි සිත් වේදනාවෙන් පැවසුහ. මේ වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි හබරණ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා සඳහන් කළේය.

වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරින් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීමට බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බව ද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් 16 වැනිදා කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද සුනිල් මහතා පැවසීය. වනඅලියාට පොලිසියෙන් වෙඩි තැබීමේ සිද්ධිය ගැන අප බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරින් කිහිපදෙනා 16 වැනිදා ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි මහතා ඇතුළු වනජීවි නිලධාරීන් අතින් සිදු කිරීමට නියමිතව තිබුණි.

සීගිරිය විශේෂ, සිරිපුර – මදුශානි අබේසිංහ, ඇළහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT