Wednesday, April 23, 2025
Home » ඉවතලන පත්තරවලින් සුබපැතුම් පත් හදා විකුණා ව්‍යාපාරික ලොව ජය ගත් සාගර
ලොව ජයගත් මිනිස්සු:

ඉවතලන පත්තරවලින් සුබපැතුම් පත් හදා විකුණා ව්‍යාපාරික ලොව ජය ගත් සාගර

by sachintha
August 17, 2024 1:10 am 0 comment

ඡායාරූප ශිල්පියෙක් ලෙස වැඩ කළ මට ජීවත් වෙන්න තවත් මොනවා හරි කරන්න ඕනෑ කියා සිතුණා

ADB බැංකුවේ මූල්‍ය සහායෙන් නැගිට්ට මිනිස්සු

ඉවතලන පත්තර කඩදාසිවලින් සුබපැතුම්පතක් හදා අලෙවි කර ආරම්භ කළ නව නිපැයුම් නිර්මාණ ඔස්සේ අද වන විට ව්‍යාපාරික ලෝකය ජය ගත් තරුණ ව්‍යවසායකයකු ඓතිහාසික කන්ද උඩරටින් අපට හමු විය. ඔහු මහනුවර, උඩ පේරාදෙණිය, බෝවලවත්ත, ඔගස්ටාවත්ත පදිංචි සාගර රංග ලියනගේ නම් දිරිමත් ව්‍යවසායකයාය. ඔහුගේ ව්‍යපාරයේ නම Earth Bound Creations (Pvt) Ltd අර්ත් බවුන්ඩ් ක්‍රියේෂන්ස් (පුද්ගලික) සමාගම වෙයි. ඔහු එහි හිමිකරුය. නිර්මාතෘවරයා සභාපතිවරයාය. මේ කිසිවකටත් වඩා ඔහු අපට වටිනා ව්‍යවසායකයෙකි. අප ඔහුගේ ජීවන ගමනේ සාර්ථකත්වයේ කතාවට දැන් සවන් දෙමු.

මම වසර 2006 දී ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළා. ඒ අතරතුර ජීවත් වීමට යම් අලුත් ව්‍යාපාරයක් පටන් ගැනීමට කල්පනා කළා. වෘත්තියෙන් ලැබෙන ආදායමට වඩා හැමවිටම ඉහළ ආදායමක් ලබා ගැනීමට කුමක් හෝ කළ යුතු යැයි කල්පනා කළා. සෑමවිටම ඉහළ ආදායමක් ලැබීමට උනන්දු වුණා. ඒ අනුව ඉවතලන කඩදාසිවලින් යම් නිර්මාණයක් කිරීමට මා පෙලඹුණා. ඒ තමයි සුබපැතුම් පත් නිර්මාණය කිරීම. මට මේ සඳහා සිත ගියේ පිලිපීනයේ හෝ තායිලන්තයේ හෝ සුබපැතුම් පතක් දැකීමෙනුයි. මේ දෙස බලා සිටි මම කල්පනා කළා මටත් මෙවැනි නිර්මාණයක් කළ හැකි ද කියා. ඒ අනුව මම ඒ සඳහා උනන්දු වුණා. මගේ ඇඟේ නිර්මාණශීලීත්වය තිබුණා. ඒ නිසාම එම සුබපැතුම් පත හා සමාන සුබපැතුම් පත් නිර්මාණය කිරීමට හැකි වුණා. එය අලෙවි කිරීමට ඉදිරිපත් කළා. හොඳ ඉල්ලුමක් ලැබුණා.

අපේ පවුලේ අම්මයි තාත්තයි මමයි නංගියි තමයි පළමුවෙන් ඉතාම කුඩාවට මේ සුබපැතුම් පත් නිර්මාණය කිරීමට පටන් ගත්තේ. කොළඹදී මේ නිර්මාණ අලෙවි කිරීමට ප්‍රමුඛ පෙළේ ආයතන මුලින් අකමැති වුවත් පසුව කැමැත්ත පළ කළා. සාගර රංග ලියනගේ මහතා සිය අතීතය සිහිපත් කළේ එලෙසිනි. මෙලෙස ව්‍යාපාරය ආරම්භ කළ ඔහු ඇතුළු පවුලේ සියලු දෙනා පසුකාලීනව ඉවතලන කඩදාසි භාවිතයෙන් නව නිපැයුම් කිරීමට පටන් ගත්හ. වෙළෙඳපොළේ තිබෙන වේවැල් භාණ්ඩ නිෂ්පාදන සියල්ල ඉවතලන කඩදාසි ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට ඔවුහු පෙලඹුණා.

ඒ අනුව විසිතුරු භාණ්ඩ රැසක් ඔහු නිර්මාණය කළා. අලංකාර ලෙස සකස් කළ ගමන්මලු, අත් බෑග්, විචිත්‍ර භාණ්ඩ ඇසුරුම් පෙට්ටි, කඩදාසි පැන්සල් සහ ගෘහ උපකරණ රාශියක් ඔහු නිර්මාණය කළා. මේවා සඳහා ලොව ඉහළ පෙළේ රටවලින් ඔහුට ඇණවුම් ලැබුණා. අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, යුරෝපයේ රටවල් බොහොමයකින් විශාල ඉල්ලුමක් ඔහුගේ නිර්මාණවලට ලැබුණා. කොළඹ ඉහළ පෙළේ සාප්පු සංකීර්ණවලින් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඔහුට ලැබුණු ඉල්ලුම සපුරාලීමට පසුකලෙක දුෂ්කර විය. ඒ සීමාවීම නිසයි. මේ අවස්ථාවේ ඔහු තීරණය කළ යුතු තීරණ දෙකක් විය. එකක් තම ව්‍යාපාරය ඉතා කුඩාවට පවත්වාගෙන යෑමය. දෙක තවදුරටත් ව්‍යාපාරය පුළුල් කිරීමය. මෙහිදී ඔහු නොපැකිළිව තම ව්‍යාපාරය පුළුල් කිරීමට තීරණය කළේය.

ඒ අනුව එතෙක් තම පවුලේ ව්‍යාපාරයක් වූ මේ නිර්මාණය කිරීමේ කාර්ය ඔහු ගමේ අවට කාන්තාවන් සහ තරුණ තරුණියන් අතර ප්‍රචලිත කළේය. ඔවුන්ට ද මේ නිර්මාණ කිරීමේ සියලු දැනුම නොමසුරුව ලබා දුන්නේය. අනාගතයේදී තම ව්‍යාපාරයට කිසිවකුගෙන් හෝ අභියෝගයක් එල්ල වුව ද ඒ ජය ගැනීමට හැකි නිර්මාණශීලීත්වයක් කෙරෙහි ඔහු දැඩිව විශ්වාස කළේය. ඒ අනුව ඔහු ව්‍යාපාර පුළුල් කළේය. අද වනවිට කුරුණෑගල, නාරම්මල, කටුපොත, මාවනැල්ල ආදී ප්‍රදේශ අටක ඔහුගේ නිපැයුම් කරන සේවක සේවිකාවෝ සිටිති. මෙලෙස ඔහුට තම ව්‍යාපාරය පුළුල් කිරීමට, ව්‍යාපාරය දියුණු කිරීමට හැකි වුයේ, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු කාරක ප්‍රාග්ධනය මූල්‍ය පහසුකම නිසාය.

ඔහු එම මුදල යොදාගෙන තමන්ට අවශ්‍ය පරණ පත්තර තොග මිලදී ගත්තේය. මාසයකට පත්තර ටොන් පහක් අටක් ඔහුට අවශ්‍ය විය. ඒ සපුරාලීමට විශාල මුදලක් වැය කළ යුතුය. එය ඔහුට මුහුණ දීමට තිබූ විශාල අභියෝගයකි. එය ඔහු ජයගත්තේ ADB බැංකුවේ ආධාරය මතය. මෙලෙස ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට ව්‍යාපාරයක් ආරම්භ කළ සාගර රංග ලියනගේ මහතා අද දවසේ තම ව්‍යාපාරය තවත් පුළුල් කරමින් සිටියි.

ඒ අනුව ඔහු පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට යොමුව ඇත. ලෝකයේ පරිසර හිතකාමි සංචාරක ගමනාන්තයක් ලෙස ඔහු තම ගම හඳුන්වා දී ඇත. සිය ව්‍යාපාරික ස්ථානයේම පාරම්පරික ආහාර වට්ටෝරු, ආහාර රටා ඔහු සංචාරකයන්ට රිසිසේ භුක්ති විඳීමට ඉඩකඩ සලසා දී ඇත. එලෙස ඒවා භුක්ති විඳීමට කැමති පර්යේෂකයෝ, විදේශීය සංචාරකයෝ, ඔහුගේ ගම්පියස සංචාරක ගමනාන්තයක් ලෙස යොදා ගැනීමට පෙලඹී සිටිති.

මේ තුළින්ද ඔහු විදේශ විනිමය රටට කැඳවයි. ඉවතලන කඩදාසිවලින් යමක් නිර්මාණය කොට ලෝකය දින වූ ඔහු අද දවසේ තවත් අභියෝගයක් ජයගැනීමට සූදානම්ව සිටියි. එනම් අප විසින් පරිසරයට ඉවත දමන බෝතල් වීදුරු අබලි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කර නව නිපැයුම් කිරීමටය. එය ඔහු මේ දිනවල අත්හදා බලමින් සිටි. ඔහුගේ වෑයම පරිසරය ඉතා සුපිරිසුදු තැනක් බවට පත් කිරීමය. භාවිතයට ගත නොහැකි කිසිවක් නැත යන්න ඔහුගේ සංකල්පයයි. ප්‍රදේශයේ 250 දෙනෙකුටම පමණ ජීවත්වීමට ඍජුව රැකියා අවස්ථා උදාකර ඇත. ආදායම් මාර්ග සකස් කර දී ඇත.

ඔහු කාන්තාවන්, තරුණ තරුණියන් ආර්ථික වශයෙන් බලගැන්වීමට සපයන දායකත්වය විශාලය. නව නිර්මාණ ඔස්සේ ඔහු සිදු කරනුයේ එක්තරා ආකාරයක සමාජ සේවයකි. එවැනි දිරිමත් මිනිසුන් වැඩි වැඩියෙන් අපේ රටට අවශ්‍ය මොහොතකි මේ. ඔහු සමඟ සාකච්ඡාවෙන් අපට අවබෝධ වූ අපේ රට දියුණු කිරීමට තරම් මානව සම්පතක් රට සතු බවයි. අප කළ යුතු අද දවසේ එය ඔප් නංවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම පමණි. මෙය අප සමඟ මාධ්‍ය සංචාරයේ නියැළී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සිටින ප්‍රධානියාගේ සිට සියලු දෙනාගේම අදහස ද වන බවට සැක නැත.

සටහන

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT