Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකා-අයර්ලන්ත කාන්තාවෝ අද එක්දින පිටියේදී හමුවෙති

ශ්‍රී ලංකා-අයර්ලන්ත කාන්තාවෝ අද එක්දින පිටියේදී හමුවෙති

ඓතිහාසික තරගාවලියට චමරිත් එක් වෙයි

by mahesh
August 16, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
චමරි අතපත්තු පෙරේදා ද හන්ඩ්‍රඩ් තරග බිමේදී සහ ලෝරා ඩෙලනි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වෙයි.

දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතය.

එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියට එක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි විස්සයි20 තරගාවලියට එක් නොවූ ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු අද තරගයේදී යළි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

මේ තරගාවලිය දෙපිලටම ඓතිහාසික අවස්ථාවක් වී තිබේ. ඒ මේ දෙරට ද්වීපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියකින් හමුවන පළමු අවස්ථාව වීම නිසාය. මින් පෙර ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය කාන්තා එක්දින ක්‍රිකට් තරග බිමේදී සිව්වරක් හමුවී තිබුණ ද, ඒ අයිසීසී හෝ වෙනත් තරගාවලියකදීය. එම තරග 4න් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවය. අවසන් වරට 2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීය.

මේ තරගාවලියට ක්‍රීඩා කරන චමරි අතපත්තු, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී 2017 තරගයට ද එක්වූහ. අද තරගයේදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන ලෝරා ඩෙලනි එම තරගයේදී නායිකාව ලෙස කටයුතු කර තිබේ.

මේ තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ද ඇතුළත් වෙයි. මේ යටතේ තරග 21ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල තරග 8ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් සමඟ 5 වැනි ස්ථානයේ පසුවන අතර, අයර්ලන්තය අවසන් ස්ථානයේ පසු වන්නේ ක්‍රීඩා කළ තරග 12න් 10ක්ම පරාජය වීමෙනි. තරග 9ක් පරාජයවී ඇති ශ්‍රී ලංකා පිලේ තරග 4ක් විසඳුමකින් තොරවී ඇති අතර, අයර්ලන්තය ක්‍රීඩා කළ තරග 2ක් ද විසඳුමකින් තොරව නිමා වී තිබේ.

අද ආරම්භ වන තරගාවලිය යටතේ පළමු තරගය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අයිසීසී ශූරතාවලියේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට යාහැකි අතර, දෙවැනි තරගයේ ජයගතහොත් තෙවැනි ස්ථාන දක්වා ඉදිරියට යෑමට හැකි වනු ඇත. තරගාවලිය 3-0කින් ජය ගැනීමෙන් ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට අවස්ථාව උදාවන අතර, අයර්ලන්තය තරග 3ම ජය ගත්තද ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ගේ ස්ථානයේ වෙනසක් සිදු නොවනු ඇත.

මේ ශූරතාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය (1018) වන චමරි අතපත්තු මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම අයර්ලන්තයට දැඩි අභියෝගයක් වනු ඇත. තවමත් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා නැති 15 හැවිරිදි ශෂිනි ගිම්හානි සහ 22 හැවිරිද කෞෂානි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

අයර්ලන්ත කණ්ඩායමට පළමු වරට ඇලිස් ටෙක්ටර් කැඳවා තිබීම විශේෂත්වයකි. ඇය අයර්ලන්ත පිරිමි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු හැරී ටෙක්ටර්ගේ බාල සොහොයුරියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT