රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් කිරීමට තමා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වැනිදා තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජනපතිවරයා මේ ඉල්ලීම කළේ ඊයේ (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඒ අසල මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.
මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යෑමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් තුළ ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙනයෑමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසූ නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට සුදුසුදැයි ජනතාව තීරණය කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනයෑමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇති වී තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණදීමට සිදුවන බව පෙන්වා දුන්නේය.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ආර්ථිකය ඉදිරියට ගෙනැවිත් අද මැතිවරණයක් පැවැත්වීමට හැකි රටක් නිර්මාණය කිරීමට තමාට දායකත්වය දුන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඇමැතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුවට සහාය දුන් සියලුදෙනාටත්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, රාජ්‍ය ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම ආණ්ඩුවට සහාය දුන් සියලුදෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා.
මා මේ රට භාරගත්තේ 2022 ජූලි මාසයේදී. ඒ ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය අත්පත් කරගෙන මගේ නිවස ද ගිනි තබා තිබු අවස්ථාවකයි. මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇතැයි එදා බොහෝ දෙනා සිතුවා. නමුත් මමත්, කථානායක ඇතුළු සියලුදෙනා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැහැ. පසුව පාර්ලිමේන්තුව මා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. යුද හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව එදා අපට පාර්ලිමේන්තුව ආරක්ෂා කර දුන්නා. නැත්නම් අද අපටත් බංග්ලාදේශයේ වැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වෙනවා.
ගිනිගත් රටක මේ තත්ත්වය වළක්වාලමින් අද අප රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. සිදු වූ විනාශය නැවැත්වීමට එදා විපක්ෂයේ සිටි කවුරුවත් සහාය දුන්නේ නැහැ. ආණ්ඩුවට ඉවත්වන ලෙස පවසමින් ඔවුන් පැන ගියා. ආණ්ඩුවට පින් සිදු වෙන්න අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. එවන් පිරිසක් ආණ්ඩුවක් භාරගැනීමට සුදුසුද කියා ඔබ තීරණය කළ යුතුයි. ඔවුන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය භාරදිය හැකි ද කියා තීරණය කළ යුතුයි.
එදා ඉන්ධන පෝලිම් තිබු රටක අද ඉන්ධන පෝලිම් නැහැ. ආහාර, ඖෂධ වෙනුවෙන් පෝලිම් තිබු රටක අද පෝලිම් නැහැ. දැන් ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. දැන් ජනතාවට ජීවත්විය හැකි රටක් ගොඩනඟා දී තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳී නැහැ. ඒ පිළිබඳ මම කනගාටු වෙනවා. එදා මේ රටේ දේශපාලන නායකයන් පැන ගියා. ආර්ථික ප්‍රශ්නය විසඳීමට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මේ ගැටලු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රටේ නිර්මාණය කරන බව කිව යුතුයි.
අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මේ සැප්තැම්බර් 21වැනිදා මට දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් කර මේ රටේ ජනතාවට මේ හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන කණ්ඩායම් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.