1993 මැයි 01 වැනිදා එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා දිවංගත වීමෙන් පසු වැඩබලන ජනාධිපති ලෙස පත්වූ ඩී.බී. විජේතුංගයන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණය අනුව තුන්වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය. විධායක ජනාධිපති ධුරයට පත්වූ පසු එතුමා පොදු ජනතාව හමුවේ විප්ලවීය ක්‍රියාවලියක් සිදු කළේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි අභාවයෙන් පසුව 1993 වසරේ මැයි මස හත් වැනිදින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේ, උපශාන්ත සන්සුන් සරල ගැමියෙකි. ඔහු චාම් සරල ගැමියෙකු වුවද, චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවන රාජ්‍ය තාන්ත්‍රික දැනුමෙන් හා ඥානයෙන් පිරිපුන් පුද්ගලයෙකි. ජනාධිපති බවට පත්වීමට පෙර ඔහු කැබිනට් ඇමැති තනතුරු රැසක් දරමින් දේශපාලන අත්දැකීම් රාශියකින් සන්නද්ධව සිටි අතර සිව් වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති තනතුර ද හොබවමින් දේශපාලන හා රාජ්‍ය පරිපාලන අත්දැකීම් වඩාත් ඔපමට්ටම් කරගෙන සිටියේය. තනතුරු පසුපස හඹා නොගිය ඔහු පසුපස තනතුරු හඹා ආවේය. සිංහල රාජාවලියෙන් පසු කන්ද උඩරටින් රාජ්‍ය නායකයකු නැවත බිහි විය. තම මිතුරන්ට “ඩීබී” වූ එතුමා මහජනතාවට “විජේතුංග මහත්තයා” විය.
මුදියන්සේ විජේතුංග හා පළිඟු මැණිකේ විජේතුංග යන මවුපියන්ට දාව 1916 පෙබරවාරි මස 15 වැනි දින ඓතිහාසික මහනුවර උඩුනුවර ප්‍රදේශයේ පොල්ගහඅංග නම් ග්‍රාමයේදී ඩිංගිරි බණ්ඩා විජේතුංග දරුවා උපත ලැබීය. එකල තිබූ වාතාවරණයට අනුව පන්සලේ නායක හිමියන්ගෙන් හා ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පොල ශාන්ත ඇන්‍ඩෘ විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීය. ශිෂ්‍යත්වයක් හිමි වීමෙන් පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ අතර ඒ වන විට ඒ යුගයේ දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන ශිෂ්‍යයකුට ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය ඩී.බී. විජේතුංගයෝ ලබා සිටියහ. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු මුලින්ම පොලිස් නිලධාරියකු ලෙසත්, පසුව සමූපකාර පරීක්ෂකයකු ලෙසත් රාජ්‍ය සේවයේ නියැළුණු එතුමන් ඒ තුළින් ලැබූ විනය ගරුත්වය සහ ප්‍රජා සමූපකාරික දැනුම තම පාලන තන්ත්‍රය සඳහා උපයෝගි කර ගත්තේය. රැකියාවෙහි නිරතව සිටියදී 1947 වසරේ වත්තේගම මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ උඩරට කීර්තිමත් දේශපාලනඥයකු වූ ඒ.රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම් තනතුර ඩී.බී. විජේතුංග තරුණයාට හිමි විය.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ රජයේ ආහාර හා සමුපකාර ඇමැති ධුරයට පත් වූ ඒ.රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ඩී.බී. විජේතුංග මහතා කටයුතු කරන සමයේ ප්‍රථමවරට දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතුවලදී දුම්බර ජනතාවගේ ජීවන ප්‍රශ්න, යටිතල පහසුකම් දියුණු කිරීම ආදි කටයුතු පිළිබඳ මනා දැනුමක් ලැබීමටත්, කොළඹ අමාත්‍ය කාර්යාලයේදී ඇමැතිවරයාට සහාය වීමටත් ඔහුට පැවරී තිබූ රාජකාරිය විය.
උඩුනුවර මැණික්හින්නේ වලල ග්‍රාමයේ මුතුකුඩ වලව්වේ නිලමේතුමාගේ දෙටු දියණිය වූ විමලා කුමාරිහාමි මෙනවිය සමඟ 1954 වසරේදී යුගදිවියට එළඹි ඩී.බී. විජේතුංග මහතා රටටත්, දැයටත් පොදු ජනතාවටත් සේවය කිරීමේ අරමුණින් දේශපාලනයට ප්‍රවේශ විය. ඒ අනුව 1965 වසරේ මහා මැතිවරණයේදී උඩුනුවර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ලෙස ඩී.බී. විජේතුංග මහතාව ජනතා ඡන්දයෙන් තෝරා ගනු ලැබුවේ ඔහු තුළ ජනතාව කෙරෙහි පැවති කරුණාව, දයාව ඇහුන්කන්දීම මෙන්ම සමාජ සේවය යන යහගුණ පමණක්ම නොව මානුෂීය ගති ස්වභාවයද හේතුකොට ගෙනය. පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඩී.බී. විජේතුංගයන් 1978 වසරේදී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ රජයේ විදුලිබල හා බලශක්ති මෙන්ම මහාමාර්ග අමාත්‍ය ධූරයත්, අනතුරුව කෘෂිකර්ම හා පර්යේෂණ අමාත්‍ය ධුරයත් හොබවන ලදී. 1988 වසරේදී එතුමන් වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වූ අතර 1989 ජනවාරි මස එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි 1989 පෙබරවාරි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග වැදි එම පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රමුඛයා වශයෙන් මනාප ඡන්ද ලබා නැවතත් මැතිසබයට පැමිණියේය. ඉක්බිති ඒ මහතා රණසිංහ ප්‍රේමදාස රජයේ මුදල් ඇමැති ධුරයට පත් විය. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති වශයෙන්ද, කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති වශයෙන් ද පත්විය. මේ අනුව ප්‍රේමදාස මහතා විජේතුංග මහතාට තවත් පදවි තනතුරු ලබා දුන්නේ ඔහු කෙරෙහි විශ්වාස කළ නිසාය. ඔහු ලෝකය පුරා පැවති අන්තර්ජාතික සම්මන්ත්‍රණවලට ගොස් පිළිගත් සාර්ථක කතා ද පැවැත්වූයේය. ඔහු මේ සාකච්ඡාවන්වලට ගියේ ඉතාමත් දක්ෂ නිලධාරීන් සමඟය. ඒ සාකච්ඡා ආරම්භයේදී ඔහු කෙටි කතාවක් පවත්වා ඉතිරි කොටස පවත්වාගෙන යෑමට ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා නිලධාරින්ට භාර දුන්නේය. එය ඉතාමත් සාර්ථක බව කාගේත් මතය විය. දශක ගණනාවක සිට විවිධ තනතුරු දරමින් පරිණතභාවයට පත් මෙම නිහතමානි දේශපාලනඥයා වර්ෂ 1989 මාර්තු 06 වැනි දින ශ්‍රී ලංකාවේ 10 වැනි අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. මෙම තනතුර ජ්‍යෙෂ්ඨත්වය සලකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පිරිනමන ලදී.
1993 මැයි 01 වැනිදා එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා දිවංගත වීමෙන් පසු වැඩබලන ජනාධිපති ලෙස පත්වූ ඩී.බී. විජේතුංගයන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතික තීරණය අනුව තුන්වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය. විධායක ජනාධිපති ධුරයට පත්වූ පසු එතුමා පොදු ජනතාව හමුවේ විප්ලවීය ක්‍රියාවලියක් සිදු කළේය. මහනුවර ජනාධිපති මන්දිරයේදී ඕනෑම කෙනෙකුට එතුමා හමුවිය හැකි බව නිවේදනය කිරීමෙන් පසු ජනාධිපති මන්දිරය වෙත දිගු පෝලිම් නිර්මාණය විය. පෙරවරු නවයේ සිට ඇඳිරි වැටෙනතුරු වෙහෙස නොබලා ඔහු ජනතාව හමුවුනේය. ඔවුන්ගේ දුක් කරදර කම්කටොලුවලට සාවධානව සවන් දුන්නේය. සමහර ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් ලැබුණේය. මේ සඳහා සැකසුණු ලේකම්වරු කිහිපදෙනෙකුගෙන් සමන්විත කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් ජනාධිපතිවරයාගේ නියෝග ක්ෂණිකව පිළිපැදීමට සැදී පැහැදී සිටියහ.
උතුරු නැඟෙනහිර පවතින්නේ ජනවාර්ගික අර්බුදයක් නොව ත්‍රස්තවාදයක් යැයි අභීතව ප්‍රකාශ කළ එතුමා ජාති හිතෛෂී බවින් හා දේශප්‍රේමී භාවයෙන් නිර්භීතව ගත් තීරණ නිසා සාර්ථක ලෙස යුද මෙහෙයුම් කර නැඟෙනහිර ප්‍රදේශය එල්.ටී,ටී,ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමේ මහඟු කාර්යය මැනවින් ඉටු කළේය. නිර්ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ ඩී.බී. විජේතුංග මහතා, 1993 පළාත් පාලන මැතිවරණය, 1994 මාර්තු දකුණු පළාත් සභා මැතිවරණය හා 1994 අගෝස්තු මහමැතිවරණය 1994 ජනාධිපතිවරණය දූෂණයෙන් හා භීෂණයෙන් තොරව පැවැත් වූ බවට විචාරක මතයයි. ඩී.බී. විජේතුංග මහතා තමන් සතු විධායක බලතල ක්‍රියාත්මක කළ එකම අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 1995 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඊට වසරකට කලින් එනම් 1994 දී පැවැත්වීමට තීරණය කිරීම පමණි.
රූපවාහිනිය ආරම්භ කිරීම, ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමය රට තුළ ව්‍යාප්ත කිරීම, දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි බලය ලබා දීම, ලෝකයේ සෑම රටකටම ක්ෂණිකව කතා කළ හැකි අන්දමට විදුලි සංදේශ දුරකතන සේවාව ආරම්භ කිරීම, විහාරස්ථාන සඳහා විදුලි පහන් ලබාදීම, කුඹුරු පනත සංශෝධනය කර ගොවීන්ට සහන ලබාදීම, වාරිමාර්ග ක්‍රම නවීකරණය කිරීම හා රාජ්‍ය සේවක වැටුප් සියයට 30කින් වැඩි කිරීම යන මහඟු කාර්යයන් විජේතුංග මහතා ඉටු කළ ජාතික සේවාවන් ලෙස නම් කළ හැක. තවද එතුමා සහ ජනමාධ්‍යවේදීන් අතර සමීප ඇසුරක් නොතිබුණත් ඔවුන්ට නිදහස් ලෙස අදහස් පළ කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. එතුමා ලාංකේය ජනතාවට අද්විතීය නායකයකු විය. 1994 දී ජනාධිපති ධුරයෙන් හා දේශපාලන වේදිකාවෙන් ගෞරවනීය ලෙස විශ්‍රාමගත් එතුමාගේ නිහතමානීත්වයට කදිම උදාහරණයක් වන්නේ වයෝවෘද්ධව රෝගාතුර වූ විටදී අවශ්‍ය වෛද්‍ය පහසුකම් මහනුවර මහ රෝහලෙන් ලබාගැනීමට තරම් ඔහු සරල මිනිසෙකු වීමය. ජාතික ඇඳුම, සිංහල භාෂාව, බෞද්ධාගමට මූලිකත්වය ලබා දුන් එතුමා සරල නිහතමානී පුද්ගලයකු විය. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා විශාල දායකත්වයක් දැක් වූ එතුමා එම පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලදි. විශ්‍රාම සුවයෙන් සිටියදීත් ජන මෙහෙවරෙහි යෙදුණු ඩී.බී. විජේතුංග මහතා ස්වල්ප කාලයක් රෝගාතුරව සිට 2008 සැප්තැම්බර් මස 21 වැනි දින දැයෙන් සමුගත්තේය.
ඩී.බී.විජේතුංගයන් පිළිබඳව පක්ෂ විපක්ෂ පොදු ජනතාව තුළ අදටත් ඇත්තේ දැඩි ගෞරවයක් හා පිළිගැනීමකි. එය උත්තරීතර දේශපාලනඥයකු සඳහා පිදෙන වටිනාම ජනතා උපහාරය බව සඳහන් කිරීම නිවැරදිය.
එම්.තාරික්