Wednesday, April 23, 2025
Home » තිස් නවයක් ඇප බඳිද්දී – ස්ටාර් ලින්ක් ඇවිත්

තිස් නවයක් ඇප බඳිද්දී – ස්ටාර් ලින්ක් ඇවිත්

by mahesh
August 16, 2024 1:00 am 0 comment

තිස් නවදෙනෙක් නාමයෝජනා පත්‍ර අත්සන් කළ කල්හි මේ රටේ ඡන්ද බලය හෝ ප්‍රජාතන්ත්‍රවාදය රජ වී ඇත්තේ යැයි මහජනයා නොමඟ යා යුත්තේ නැත. ඇත්ත පත්තරේ කර්තෘ බී.ඒ. සිරිවර්ධනහු මෙම පාත්‍ර වර්ගයා හඳුන්වන ලද්දේ ‘ජහ මනයා’ යනුවෙනි. මනා ලෙස දැක්කිය හැකි බැවින්, පැත්ත පෙරළා එහෙම භාවිත කළ විට, එම නාම පදයේ නියම අර්ථය ලැබෙන බව ඔහුගේ අවධාරණය විය.

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා තේරීමේ තරගය සම්බන්ධයෙන් ගැටලුවක් නැත්තේය. මක්නිසාද යත් මී මැසි ජනපදහී රැජන උපදින්නා සේ අපට උප්පත්ති නායකයෝ නොමැත්තේ බැවිනි. ඒ සඳහා කාලයෙන් කාලයට මානව ශිෂ්ටාචාරය, පිළිවෙළක් නිර්මාණය කර ගත්තේය. මේ කාලයේ තාලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ අනුව වසර පහකට වරක් මේ රටේ නායකයා අප තෝරා ගන්නේය.

මේ තීරුවේ අද අවධාරණය ඡන්දය නොවේ. තව මාසයකට එහා කාලයක් ඔය කනිපින්දම අසන්නට වන්නේ බැවින්, මේ කාලයේ හෝ වෙනත් මාතෘකාවක් කතා කළ යුත්තේ යැයි සිතා ඩිජිටල් අවකාශය සම්බන්ධ කතිකාවතක අද මේ තීරුව ධාවනය වන්නේය.

ආරම්භය ලෙස නාමයෝජනා කතාව ගනු ලැබුවේ, ඊයේ උදෑසන සජීව ආකාරයෙන් අප නරඹන ලද පැය කිහිපය සම්බන්ධයෙන් වූ විවේචනයක් ඇත්තේ නිසාය. තිස් නවයක් මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් විට කැන්සල් වන්නේ ඒ ඒ අපේක්ෂයන්ගේ ඇප නොවේ. රටේ ඇපයය. මේවා දකින අහන විදේශිකයකු සිතනවා ඇත්තේ මේ රට තවමත් තබා ඇත්තේ, නොමේරු ළදරු ඒකකයේ බවය. මේ අතරින් වැඩකට ඇති අපේක්ෂක සංඛ්‍යාව හයකට අඩු කර ගත හැක්කේය. අනික් සියල්ලෝම වල් වාසි බලාගෙන පිටියට පිවිසි පිරිස් වෙත්. මීට සියවසකට පෙර යුගයේ හෝ ඉන් ඔබ්බේ ඔහොම රැවටිලිකාරයෝ සිටියා යැයි වාර්තා වී ඇත්නම් ඒ පිළිබඳ අපි සසල නොවෙමු. අප අද ජීවත්වන්නේ, වායුගෝලය සපුරා ඇති අවකාශයක පමණක් නොවේ. සයිබර් අවකාශය නොමැත්තේ නම් ජීවත් වුවද මළවුන් වැන්නන් වූ කාලයකය. එහෙව් කාලයක අර තාලයට තිස් නවදෙනෙක් එක් පුටුවකට තරග කිරීම දරාගත නොහැක්කේය. මේ සඳහා මැතිවරණ කොමිසමට කළ හැක්කේ ඇපය කෝටි ගණන දක්වා වැඩි කිරීම පමණය. ඉන් එහා ගොස් අපට කළ හැකි දේ ද ඇත්තේය. සයිබර් අවකාශ විරෝධය ඉන් ප්‍රධානය. රටේ නායකයා තෝරන ඡන්දයට පැමිණ සිටි සමහරුන්ට පවුලේ අයවත් ආධාරකාරයන් ලෙස රැගෙන ඒමට නොහැකි සෙයියාවකි. එහෙව් පිරිස් මෙසේ ජාතික ධනයෙන් ආතල් ගැනීම අප දරාගත යුත්තේ නැත. කුමක් හෝ කළ යුත්තේමය. නෛතික ආකාරයෙන් ඒ සඳහා විරෝධය දැක්විය හැකි සෑම ආකාරයක්ම අප ප්‍රයෝජනයට ගත යුත්තේය.

මේ රට වසර දෙකකට පෙර තිබුණේ ඡන්ද පැවැත්විය හැකි තත්ත්වයක නොවේ. පාරේ යෑමට ද බැරි තැනකය. ගෙදර ඉන්නද බැරිය. විදුලිය නැත. උයා පිහා ගැනීමට ද නොහැකිය. ගෑස් නැත. කරන්ට් ඇති වෙලාව බලා, රයිස් කුකර් එකේ ‘කරීස්’ හදාගෙන කෑ කාලයක් අපට ද තිබුණි. එහෙම කාලයක් ගත කර දැන් ඊලෝන් මස්ක් මේ රටේ ආයෝජන සඳහා පෙලඹී, එය අවසන් කර තිබේ. අලුත්ම ආරංචිය වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණෙන බවය. එදා සංචාරකයෝ බුකින් කැන්සල් කර, අතරමඟින් හැරී ගිය රටේ තත්ත්වය එබඳුය.

ලොව පුරා මිලියන තුනකට වඩා ග්‍රාහකයන් පිරිසක් වෙත අන්තර්ජාල සේවා සපයන ඊලෝන් මස්ක්ගේ ‘ස්ටාර් ලින්ක්, සේවාව දැන් ශ්‍රී ලංකාවේ දියත්ව තිබේ. දකුණු ආසියාවේ අන්තර්ජාල සේවා කප් එක හැමදාම තිබුණේ අපේ ළඟය. ටූ ජී, ෆොර් ජී, ෆයිව් ජී ආදී සියල්ල මුලින්ම දකුණු ආසියාවට කැන්දාගෙන ආවේ අපය. මාලදිවයිනේ ඇති දූපත් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම දුෂ්කර කටයුත්තකි. එහෙයින් ස්ටාර් ලින්ක් මුලින්ම ආවේ එහෙටය. ඒ හැරුණු කල, ඉන්දියාවට ද පෙර ස්ටාර් ලින්ක් මෙහෙට ඇවිත් තිබේ. අසීමිත වේගය සහ කඳු හෙල්, ඝන කැලෑ ආදී ඕනෑම ස්ථානයකදී, බෆරින් හෙවත් රවුම කැරකෙන්නේ නැතිව ඉන්ටර්නෙට් ලබා ගැනීම සඳහා මේ තරම් සාර්ථක සේවාවක් තව නැත.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව දස ලක්ෂයක් පමණ වෙතත් පරිහරණය ඊට වඩා කිහිප ගුණයක් වැඩිය. රී ලෝඩ් කාඩ් එකක් දමාගෙන, දිනකට පැයක් දෙකක් පමණ, ෆේස්බුකියේ උඩ යට යන වයස්ගත සීයා, මේ ගොනුවේ නැත. ඒ අනුව මෙම සංඛ්‍යාව සෑහෙන වැඩි ගණනක් වන්නේය. ස්ටාර් ලින්ක් සේවාව දියත් වන්නේ මේ සැමගේ අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කරමිනි. මේ කාලයේ මූලික අවශ්‍යතා ගණයට අන්තර්ජාල සේවා ද අයත් වන්නේය. ‘ඩේටාගෙන් තොර ලෝකයක් කොයින්දෝ’ කියා අවශ්‍ය අයෙකුට පපුවේ පච්චයක් ද ගසා ගත හැකි තරමට වැඩේ දැන් බලවත්ය.

මේ වසර ආරම්භ වනවිට ඊලෝන් මස්ක්ගේ ස්ටාර් ලින්ක් ආයතනය චන්ද්‍රිකා 5874ක් අභ්‍යවකාශගත කර මෙම සේවාව ලබා දෙන්නේය. මේ රටට පැමිණ ඇත්තේ ඒ ආකාරයේ බලවත් ආයතනයකි.

ඒ ගැන දැනුම්වත් කිරීම අද මේ තීරුවේ අරමුණ වූයේය. එහෙම පිමි මේ රට පනින විට මහජනයාගේ කරෙන් පනිමින්, තිස් නවයක් දෙනා අපේක්ෂකයෝ ලෙස ඡන්ද කොළයේ සිටීම අප නම් ඉවසන්නේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT