සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර සිව්දින පුහුණු තරගය ඊයේ වෝස්ට්ෂයර්හිදී ආරම්භ විය.
මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ලයන්ස් පිල පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධන කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 139ක් පමණි.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ලයන්ස් පිල කඩුලු 4ක් දැවී ලකුණු 145ක් රැස් කර තිබිණි. ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 6ක් ඉදිරියෙන් සිටිති.
හම්සා ෂෙයික් ලකුණු 21ක් සහ ෆර්හාන් අහමඩ් ලකුණු 3ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ලයන්ස් ඉනිම ඇරඹූ රොබ් යේට්ස් සහ බෙන් මැකින්නි පළමු කඩුල්ලට ලකුණු 72ක් එක් කළහ. බෙන් ලකුණු 46කට දවා ගනිමින් ප්‍රභාත් ජයසූරිය එම සබඳතාව බිඳ දැමූ අතර, තවත් ලකුණු 12ක් තුළ රොබ්ගේ ඉනිම ලකුණු 25කට සීමා කිරීමට මිලාන් රත්නායකට හැකි විය.
ඔලිවර් ප්‍රයිස් (22) ජයසූරියගේ දෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 105ක් විය. මුළු ලකුණු 141දී ජෙම්ස් රෙව් (22) සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ජයසූරියගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිඳ දැම්මේ ලකුණු 42කටය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 45ක් වෙද්දී ආරම්භක පිතිකරු යුගලය වූ නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න දෙදෙනම පිටියෙන් ඉවත් කිරීමට සමන් අක්තර් සමත් විය. දිමුත් ලකුණු 26කට දැවී ගිය අතර, මධුෂ්ක රැස් කළ හැකි වූයේ ලකුණු 11ක් පමණි. තෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස්වද පිටියෙන් ඉවත් කිරීමට අක්තර් සමත් වූ අතර, ඔහුගේ ඉනිම ලකුණු 12කට සීමා විය. අනතුරුව පිටියට පිවිසි ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් (11), නායක ධනංජය ද සිල්වා (2) සහ දිනේෂ් චන්දිමාල් (12) ලකුණු 8ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් හල් සමත් වූයේ ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට ඇද දමමිනි.
ලකුණු 8ක් ලබා සිටි සදීර සමරවික්‍රම 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 95ක් ලෙස දිස්විය. අනතුරුව 27ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 සීමාවෙන් එපිටට රැගෙන යෑමට ප්‍රභාත් ජයසූරිය සමඟ එක්වූ තවමත් ජාත්‍යන්තර තරග වරම් ලබා නැති මිලාන් රත්නායක සමත් වූ අතර, එම සබඳතාව නිමා වූයේ අක්තර්ට සිව්වැනි කඩුල්ල ලබා දෙමින් මිලාන් ලකුණු 17කට දැවී යෑමත් සමඟිනි. ප්‍රභාත් ලකුණු 20ක් රැස් කර සිටියදී 9 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, අක්තර්ගේ 5 වැනි කඩුල්ල ලෙස ළහිරු කුමාර දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 139කට සීමා විය.
පන්දු යැවීමේදී සමන් අක්තර් ලකුණු 32කට කඩුලු 5ක් බිඳ දැමු අතර, ජොෂ් හල් කඩුලු 3ක් දවා ගත්තේය.
ඊයේ තරගය එරට වේලාවෙන් පෙරවරු 11.00ට තරගය ආරම්භ වීමට නියමිත වුවත් පිටියට ඇද හැලුණු වර්ෂාවත් පිටියේ තෙත සහිත ස්වාභාවයත් හේතුවෙන් තරගය ආරම්භ කිරීම දිවා විවේකයෙන් පසුව සිදු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව තරගය පස්වරුවේ වැඩිපුර පැය එකහමාරක පමණ කාලයක් ක්‍රියාත්මක කෙරිණි.
අද තරගයේ දෙවැනි දිනයයි.