පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී දකුණු ආසියානු කලාපයේ රටක් දිනාගත් එකම රන් පදක්කම හිමිවූ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වෙතට මුදල් වැසි වැටෙද්දී ඔහුගේ මාමණ්ඩියගෙන් ලැබුණු තෑග්ග ගැන වැඩි කතාබහක් ඇතිවෙමින් තිබේ. අර්ෂාඩ් නදීම්ගේ මාමණ්ඩිය වන මොහොමඩ් නවාස් හෙල්ල විසි කිරීමේ ශූරයාට මී හරකෙක් තෑගි වශයෙන් ලබා දීම එයට හේතුවී තිබේ.
මෙය ඇතමෙකුට බැලූ බැල්මට හාස්‍ය දනවන කරුණක් වුවද මාමණ්ඩිය මාධ්‍ය වෙත පැවසුවේ මීහරක් තෑගි ලෙස දීම තම ගමේ ඉතා වටිනා හා ගෞරවනීය කටයුත්තක් බවය.
ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තාන රජය රුපියල් මිලියන 151ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 17) මුදලක් කලින්ම ලබාදුන් අතර, පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය මාරියම් නවාස් තවත් රුපියල් මිලියන 100ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.7ක්) ලබාදුනි. ඔලිම්පික් තරග සංවිධායක කමිටුව රන් පදක්කම වෙනුවෙන් ලබා දෙන අමෙරිකානු ඩොලර් 50,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.5) මුදල ද ඔහු වෙත පිරිනැමීය. ඒ අනුව අර්ෂාඩ් නදීම් දිනාගත් ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකා රුපියල් කෝටි 29කට වැඩි මුදලක් හිමිව තිබේ.
එමෙන්ම ඔහුගේ ඔලිම්පික් වාර්තාව වූ මීටර් 92.97ක් විසි කිරීම සැමරීම සඳහා ‘PAK 92.97’ ලෙස විශේෂ ලියාපදිංචි අංකයක් සහිත නව මෝටර් රථයක යතුරු ද නවාස් වෙත ඊයේ භාර දුන්නේය. නදීම්ගේ පුහුණුකරු සල්මන් ඉක්බාල් මහතාට පාකිස්තාන රුපියල් මිලියන 5ක් (ඩොලර් 18,000) ලබා දී ඇත. පාකිස්තාන රජය විසින් පිරිනමන එරට ඉහළම සිවිල් සම්මානය වන හිලාල් ඊ ඉමිටියාස් සම්මානය පිරිනමන බව ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා නිවේදනයක් ද නිකුත් කළේය.
වසර 40කට පසු පාකිස්තානයේ පළමු ඔලිම්පික් රන් පදක්කම ස්ටේට් ඩී ෆ්‍රාන්ස් හිදී සටහන් වූ අතර, එතෙක් එහි ඔලිම්පික් රන් පදක්කම දිනා සිටි ඉන්දියාවේ නිරාජ් චොප්රා (මීටර් 89. 45) දෙවැනි තැනට ඇද වැටුණේය.