පළමු වරට ජාතික තලයේ ක්‍රිකට් තරගාවලියක් අනුරාධපුරයේදී පැවැත්වීමේ අවස්ථාව සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන කරන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 21 වැනිදා ආරම්භ වේ.
අනුරාධපුර සාලිපුර සහ සමාධි ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මේ තරගාවලිය 30 වැනිදා නිමාවීමට නියමිතය.
2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමක් ගොඩනඟා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධාන කරයි.
මහනුවර, ගාල්ල, කොළඹ උතුරු, කොළඹ දකුණ සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 5ක් එක්වන මේ තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් 4 සමඟින් තරග වදින අතර, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
එහිදී පළමු ස්ථානය සහ සිව්වැනි ස්ථාන ගන්නා කණ්ඩායම් දෙක සාලියපුරදී පළමු අවසන් පූර්ව තරගයට එක්වන අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් සමාධි ක්‍රීඩාංගණයේදී දෙවැනි අවසන් පූර්ව තරගයට පිවිසෙයි. මේ තරග දෙක මේ 28 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 30 වැනිදා සමාධි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
පසුගිය වසරේ පැවති මේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වූ අතර, අවසන් තරගයේදී ඔවුන් හමුවේ මහනුවර පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 13කින් පරාජය විය.
තරග කාලසටහන
අගෝ. 21 දා: මහනුවර – ගාල්ල (සාලියපුර), කොළඹ උතුර – කොළඹ දකුණ (සමාධි)
අගෝ. 22 දා: දඹුල්ල – කොළඹ දකුණ (සාලියපුර), මහනුවර – කොළඹ උතුර (සමාධි)
අගෝ. 24 දා: කොළඹ දකුණ – මහනුවර (සාලියපුර), ගාල්ල – දඹුල්ල (සමාධි)
අගෝ. 25 දා: ගාල්ල – කොළඹ උතුර (සාලියපුර), දඹුල්ල – මහනුවර (සමාධි)
අගෝ. 27 දා: කොළඹ උතුර – දඹුල්ල (සාලියපුර), කොළඹ දකුණ – ගාල්ල (සමාධි)
අගෝ. 28 දා: පළමු අවසන් පූර්ව තරගය (සාලියපුර), දෙවැනි අවසන් පූර්ව තරගය (සමාධි)
අගෝ. 30 දා: අවසන් මහා තරගය (සමාධි)