ඉංගිරිය ප්රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් මඟින් කෑගල්ල ප්රදේශයේ කුඩා තේ වතු හිමියන්ගෙන් මැයි මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 60ක පමණ දලු රැගෙන ගොස් මුදල් ගෙවා නැතැයි පවසා කෑගල්ල පොලිස් වසමේ පන්දෙණිය, වතුර, කෙහෙල් වත්ත, අලපලාවල ප්රදේශයේ කුඩා තේ වතු හිමියන් පිරිසක් ඉකුත් ජූලි මස කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. වසර ගණනාවක සිට ඉංගිරිය ප්රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට පන්දෙණිය ඇතුළු ප්‍රදේශ ගණනාවක තේ දලු මිලට දී ඇති අතර රුපියල් 150 සිට රුපියල් 200 දක්වා විවිධ මිල ගණන් යටතේ කුඩා තේ වතු හිමියන්ගෙන් සතිපතා දලු එකතු කර දලු ලබාගත් බවට රිසිට්පතක් ද නිකුත් කර ඇති අතර මාසය අවසානයේ එකවර මුදල් බැංකුගත කර තිබේ. ඉංගිරිය තේ කර්මාන්ත ශාලාව මඟින් බුලත්කොහුපිටිය වෑගල්ල ප්රදේශයේ පුද්ගලයෙක් දලු එකතු කිරීමට සතිපතා පැමිණ ඇති අතර සෑම මසක් අවසානයෙහිම හිඟයකින් තොරව මුදල් ගෙවීම හේතුවෙන් ඇතිවූ විශ්වාසය මත තම දලු ඉංගිරිය තේ කර්මාන්ත ශාලාවට දුන් බව කුඩා තේ වතු හිමියන් සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඒ අනුව ඉංගිරිය තේ කර්මාන්ත ශාලාවේ බලධාරියෙකු ජූලි 13 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබුණි. එහිදී බලධාරියා පොලිසිය හා කුඩා තේ වතු හිමියන්හට පවසා ඇත්තේ අගෝස්තු මස 10 වැනි දිනට පෙර ගෙවීමට ඇති මුදල් ලබාදෙන බවය. නමුත් තමන්ට කිසිදු මුදලක් නොදුන් බවත් දලු එකතු කරන්නාගේ හා බලධාරියාගේ දුරකතන අංක ද විසන්ධි කර ඇති බවත් දන්වා කුඩා තේ වතු හිමියන් විසින් නැවතත් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනෙක (13) දන්වන ලදී. මෙම පැමිණිල්ලෙහි විමර්ශන කටයුතු කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ මහතා විසින් සිදු කෙරිණි.