දේශීය වී මිල ශීඝ්‍රයෙන් පහත බැසීමෙන් වී වගා කළ ගොවීන් අසරණ වී ඇතැයි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. ගමගේ මහතා එසේ ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පෙරේදා (13) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.
රු. 150-160 අතර මිලකට තිබූ බාස්මති වී කිලෝවක මිල අද වන විට රු. 110 දක්වා පහත බැස ඇති බවත්, නාඩු වී කිලෝ එකක මිල රු. 110 දක්වා පහත බැස ඇති බවත්, මේ හේතුවෙන් වී තොග නිවෙස් තුළ ගබඩා කළ ගොවීන් කබලෙන් ලිපට වැටී ඇති තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. රට තුළ වී ගබඩා පැවතියත් ඒ එකකවත් වී ගබඩා කර නැති බවත්, ගොවීන් විශාල මුදලක් වැය කර වගා කටයුතු සිදු කළත් එම වැය කරන මුදලට හා ශ්රමයට සරිලන මිලක් නොලැබීමෙන් ගොවීන් ගොවිතැනෙන් ඈත් වන තත්ත්වයකට පත් වී ඇති බවත් සඳහන් කළ සුනිල් ගමගේ මහතා, රටේ වී මිල පාලනය කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිව්දෙනකු බවත්, රට තුළ නිසි කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැතිවීමෙන් ගොවීන් අන්ත අසරණ තත්ත්වයකට පත්වී ඇති බවත්, රජය මැදිහත්වී මේ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් වැඩිදුරටත් පැවැසුවේය.