ධර්ම විකෘතියක යෙදෙන මීවනපලානේ සිරිධම්මාලංකාර හෙවත් සිරිසේන හපුතන්ත්‍රී නම් භික්ෂු ප්‍රතිරූපකයාට සහාය දීමෙන් හා එකී භික්ෂු ප්‍රතිරූපකයාගේ ධර්ම විකෘතීන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමෙන් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ශාසන සම්ප්‍රදායට හානි කර තිබෙන බව පිළිගෙන ඒ සම්බන්ධයෙන් මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ නායක කාරක මහා සංඝ සභාවෙන් බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් සමාව ඉල්ලා ඇත.
මීවනපලානේ සිරිධම්මාලංකාර නම් සාවද්‍ය අනන්‍යතාවකින් කටයුතු කරන සිරිසේන හපුතන්ත්‍රී නම් ධර්ම විකෘතිකයාට සහාය හා අනුග්‍රහය ලබා දීම පිළිබඳව චෝදනා ලැබ සිටින බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිර එකී චෝදනා විභාග කිරීම සඳහා පසුගිය 11 දින මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේ මෙම සමාව අයැද සිටීම කළ බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ශාසන සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කිරීමෙන් වරදක් කර ඇති බව පිළිගෙන ඒ පිළිබඳ ගරුතර කාරක මහා සංඝ සභාව ඉදිරියේ සමාව භජනය කරන ලද බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා හෝ එකී ධර්ම විකෘතිය අනුගමනය කරන කිසිවකු සමඟ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොපවත්වන බවයි. එකී ධර්ම විකෘතිය නියෝජනය කිරීම හෝ ප්‍රවර්ධනයට මොනයම් ආකාරයක හෝ දායකත්වයක් ලබා නොදෙන බවට උන්වහන්සේ පොරොන්දු වී ඇත. මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදු කරනු ලබන්නේ ධර්ම විකෘතියක් බවත් එය ථේරවාදී බෞද්ධ දර්ශනයට ඉඳුරාම පටහැණි මිත්‍යා දේශනාවක් බව සහතික කොට ප්‍රකාශ කරන බවත් මෙහිදී බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් ගරුතර කාරක මහාසංඝ සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ අනුගාමිකයන් පිරිසක් සමඟ 2024.07.28 දින නව නිකායක් බිහිකිරීමට සාකච්ඡා කිරීමෙන් වරදක් සිදු කළ බවත් ඒ පිළිබඳ අතිගෞරව මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර සානු නායක කාරක මහා සංඝ සභාවෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර තිබෙන සුමනසාර හිමි තමන් මේ වන විට අසූ වයස් සපුරා සිටින බවත් පැවිද්දෙන් වසර 70ක් ගත කර ඇති බවත් ඒ පිළිබඳව සලකා තමන් මල්වතු පාර්ශ්වයෙන් ඉවත් නොකරන ලෙසත් ඉල්ලා තිබේ.
මින් ඉදිරියට බුදුරජාණන් වහන්සේ ලක්දිව උපන්නා යන මිත්‍යා මතවාදය හෝ වර්තමානයේ ලංකාව ඇතුළු ථේරවාදී රටවල පවත්නා ත්‍රිපිටකය පිළිබඳ මිත්‍යා මතවාද පැතිරවීමට කටයුතු නොකරන බවටත් ලක්දිව මහා විහාර සම්ප්රදාය විසින් ආරක්ෂා කරගෙන ආ ත්‍රිපිටක දේශනාව සත්‍ය පරියත්ති දේශනාව ලෙස පිළිගෙන මහා විහාර සම්ප්‍රදායගත අටුවා, ටීකා අනුවම බුද්ධ වචනය අර්ථ විවරණය කරන බවත් එයට විරුද්ධ කිසිදු දේශනාවක් අනුගමනය කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකරන බවටත් ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර කාරක මහා සංඝ සභාව ඉදිරියේ පොරොන්දු වී තිබෙන බදුල්ල ගම්මන සුමනසාර ස්ථවිරයන් තමන් විසින් සිදු කරන ලද ක්‍රියාව බරපතළ වරදක් බවට ද පිළිගෙන ඇත.
මින් ඉදිරියට ආයති සංවරයෙහි පිහිටා කටයුතු කරන්නට අවකාශය සලසා දෙන ලෙසත් තමන් ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමයන්ට පටහැණිව කටයුතු කරන බවට ගරුතර කාරක මහාසංඝ සභාවට හැඟී යන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව ගන්නා ඕනෑම තීරණයකට තමන් වහන්සේ එකඟ වන බවට ද සුමනසාර හිමි පොරොන්දු වී තිබේ.