සුනඛයකු සපා කා මාස තුනක් ගත වුවත් ජලභීතිකා එන්නත රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය. සුනඛයකු සපා කෑමෙන් පසුව මුල් දින කීහිපයේදී ඇතැම් පුද්ගලයකුට ජලභීතිකා එන්නත ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පුද්ගලයා එන්නත ලබා ගැනීම පැහැර හරින බවත් එමගින් ජලභීතිකාව ඔහුට වැලඳීමේ අවදානමක් පවතින අතර පුද්ගලයකු සුනඛ සපාකෑමකට ලක්ව මාස තුනක් ගත වන තෙක් එන්නත ලබාදීම සිදු කරන බවත් ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය. වසර 2030 වන විට මෙරටින් ජලභීතිකාව තුරන් කිරීම අරමුණ බවත් ඒ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.
ජලභීතිකාව වැලඳීම නිසා මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා මරණ 11ක් වාර්තා වී ඇති බවත් මේ මරණ වළක්වා ගැනීමට හැකි ඒවා වන අතර සුනඛයකු සපාකෑමට ලක්වීමෙන් පසු නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මරණ වළක්වා ගත හැකි බවත් ඔහු කීය. රජයේ රෝහල් 300කින් පමණ ජලභීතිකා එන්නත නොමිලේ ලබාදීම සිදු කරන බවත් සුනඛයාට අමතරව මුගටි, නරි, දඬු ලේනා, ඌරු මීයා, බළලා, වඳුරා, ලේනුන්, හරක්, කොළ දිවියා, උගුඩුවා, උරුලෑවා යනාදී සත්ත්වයන්ගේ සපා කෑමෙන් ද ජලභීතිකාව වැළඳිය හැකි බවත් ඒ මහතා පැවසීය.