නව තානාපතිවරුන් හය දෙනෙක්, මහකොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ. පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී මේ නිර්දේශය ලැබී ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ.පී.පී. සේරම් මහත්මියගේ නම ද කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එස්.කේ. අසාර්ඩ් මහත්මියගේ නම ද රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.කේ. ගුණසේකර මහත්මියගේ නම ද ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්න මහතාගේ නම ද ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම්. ෂහීඩ් මහතාගේ නම ද බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වයි.කේ. ගුණසේකර මහත්මියගේ නමද නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස එස්.පී. වල්පිට ගමගේ මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.
ඊට අමතරව පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබා දී තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, රිෂාඩ් බදියුදීන්, තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල මහත්ම මහත්මීහු සහභාගි වූහ.