Home » ජනක රත්නා­ය­ක­ගෙන් කෝටි 3ක් ගන්න හදලා

ජනක රත්නා­ය­ක­ගෙන් කෝටි 3ක් ගන්න හදලා

එක්සත් ලංකා පොදු­ ජන පක්ෂයේ ලේකම් ඇතුළු 8ක් අල්ලස් දැලේ

by Gayan Abeykoon
August 15, 2024 1:14 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු එම පක්ෂයේ 08 දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් ඊයේ (14) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අල්ලස,දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් පසුගිය 12 දා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ජනක රත්නායක මහතාගෙන් ද ඒ සම්බන්ධයෙන් පෙරේදා (13) ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා ගොඩනැඟිල්ලෙහි දෙවැනි මහලේ පිහිටි කාර්යාලයක් තුළදී අදාළ අල්ලස ලබාදෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊයේ පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් ඉල්ලා සිටි අල්ලස් කොමිෂන් සභාව විසින් සලකුණු කරන ලද රුපියල් කෝටි 03ක මුදලත් රැගෙන වැලිකඩ ප්ලාසා ගොඩනැඟිල්ලෙහි පිහිටි කාර්යාලයට ගොස් අදාළ මුදල් ලබාදෙන අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ. එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන සමඟ එම පක්ෂයේ 08 දෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර එම පක්ෂයෙන් 2015 වසරේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි නමැති අය ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම සැකකරුවන් අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT