මේ එදිනෙදා උණුසුම් පුවත් මවන කාලයකි. ළඟ එන ජනාධිපතිවරණ ඡන්ද විමසීම හමුවේ එය එසේ වුවත් රටක් වශයෙන් කිසියම් ආර්ථික ස්ථාවරත්වයක් නොවුණහොත් එදිනෙදා ජන ජීවිතය පමණක් නොව, ප්රජාතන්ත්රවාදය පවා අභියෝගයන්ට ලක් වන්නට ඉඩ ඇත. ඒ අනුව රටක් වශයෙන් අපේ ඉදිරිය කෙසේ විය යුතු ද? ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලීන් අබේසේකර මහතා සමඟ අප ඒ පිළිබඳව කතා කළෙමු.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ( IMF) එකඟතා සමඟ මෙරට ඉදිරියට යෑම, සුබවාදී ද? අසුබවාදී ද?
සුබවාදීයි. හැබැයි, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතා ගැන විවේචන, මැසිවිලි, පරස්පරතා තියෙනවා. ඒ තැන් හදාගෙන ඉදිරියට යෑම සමෘද්ධිමත් හෙටකට හේතු වනු ඇති බවත් කිව යුතුයි. එවිට IMF කෙරෙන් ඔබ්බටත් යමින් අපට අනාගත ආර්ථික සමෘද්ධිය පිළිබඳ වැඩිදුරටත් කතා කළ හැකියි. අනෙක, අපි රටක් විදියට වර්ෂ 1965 පමණ සිටම IMF එක්ක වැඩ කරනවානේ. එතැන් පටන් අප ඒ සමඟ එකට වැඩ කළ අවස්ථා වගේම එයින් බැහැරව බොහෝ වාර ගණනක් මෙරට කටයුතු කළ බවත් අලුතින් මතක් කළ යුතු නැහැනේ. හැබැයි, ඉකුත් කාලයේදී බරපතළ ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටියදී ඉන්ධන පිරවුම්හලට ඛනිජ තෙල් බවුසරය එන දවසක්, වේලාවක් ගැනවත් අපට පෙර දැනුuaවත් වීමක් තිබුණේ නැහැනේ. තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ආදී නවීනතා ගැන කතා කරන අපි එකල ඒ තරම් ප්‍රාථමික තැනටත් ඇදවැටුණානේ.
දැන් මම එතැනින් බෞද්ධ දර්ශනය දෙසට හැරෙනවා, ‘අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනා…’ ඒ, බොහෝ දෙනකු අසා ඇති පාඨයක්. ඒත්, කී දෙනකු එහි අරුත පාදා ගෙන ඇති ද යන්න අවිනිශ්චිතයි. මේ කියන බාලයා වෙන් කර හඳුනාගැනීමට අප බුද්ධිමත් විය යුතුයි. හොඳ සිත සහ නරක සිත ගැන පණ්ඩිතයා සහ බාලයා යන්නෙන් අදහස් කරන බවක් මම විශ්වාස කරනවා. ඒ අනුව බාලයා යන්නෙන් නරක සිත අදහස් කරනවා. හැබැයි ඒ ටික නොවැටහෙන්නේ, අද වන විට සැබෑ බෞද්ධ දර්ශනය සමාජයෙන් ඈත් වී ඇති නිසයි. බුදු දහම මෙරටින් මෙකල ඉස්මතු වී පෙනෙන්නට නැහැ. ඒ කොහොම වෙතත්, ආර්ථිකයට පණක් දුන් කොළඹ ජිනරතන කාර්මික විද්‍යාලය දශක ගණනාවකට ඉහතදී අරඹන්නට ඉකුත්දා දැයෙන් සමුගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට අනාගතය පිළිබඳ හොඳ දැක්මක් තිබුණා. ඒ වගේමයි, උමංදාව ආදී බෞද්ධ විහාර ආශ්‍රිතව පමණක් නෙවෙයි, වෙනත් ආගම් ඇසුරේත් එවැනි ආර්ථිකයට පණ පොවන වැඩසටහන් තනි තනිව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ කාර්මික දැනුම ඔස්සේ වැඩ ලෝකයට පියනඟන අනාගත පරපුරට ව්‍යවසායකත්වයේ අගය කලක් යන විට ඒත්තු ගැන්වෙනවා. අද රටක් විදියට අපි ව්‍යවසායකත්ව පරපුරක් නැතිකමින් කෙතරම් පීඩා විඳිනවා ද?
එහෙමනම් අපිට මොනවා ද කරන්න පුළුවන්?
දේශපාලන තන්ත්රයට ඉහළින් මෙරටට ආර්ථික සමෘද්ධිය අරමුණු කර ගත්, ඉහළ ධූරාවලියකින් සැදුම්ලත් වෘත්තිකයන් ආදින්ගෙන් සැදුම්ලත් උත්තරීතර මණ්ඩලයක් පිහිටුවා ගෙන එයින් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදේශන සේවා ගන්න අපට බැරි ඇයි? රටක් විදියට හෙටක් හොයන අපි තවම ඒකට ප්‍රමාද නැහැ. මේ කියන්නේ දේශපාලනය මුලිනුපුටා දැමීමක් ගැන නෙවෙයි. ඒ පිරිසත් ඇතුළුව උගතුන්, විද්වතුන්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාධරයන් ආදී බොහෝ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ මණ්ඩලය තෝරා ගැනීම උචිත බවයි මගේ හැඟීම. එතැනදී දේශපාලනඥයන් සෑම දෙයකටම අත නොදමා සිටීමත් ඉතා වැදගත්. එවිට මුදල් පරිහරණය ගැන දැනුමැති, ‘මාර්කටින්’ සිහින පසුපස හඹා ගොසින් අන්තිමේදී අමාරුවේ නොවැටෙන තාරුණ්‍යයක් මෙරටටත් උදාකර ගත හැකියි. ඉහළ ආදායම් වෙළෙඳාම ආදියෙන් උපයන ඇතැමුන්ට ඉතිරි කිරීමේ බැංකු ගිණුමක්වත් නැහැ. ඒ ගැන අවධාරණය කළත් ඒ අයට එහි අගය වටහා ගැනීමට තරම් දැනුමක්, අවබෝධයක්, එහි වැදගත්කමක් පෙනෙන්නේත් නෑ.
එහි තවත් බැරෑරුම් පැතිකඩ වෙනවා. ඒ, ආදායමට, හැකියාවට වඩා වැඩි ණයක් ගැනීමෙන්. ත්‍රිරෝද රථයකට වඩා සුළු ගණනක වාරිකයකට මෝටර් රථයක් ගත හැකි වගට අලෙවිකරුවන් කරන විස්තර කිරීම්වලට නතු වන ඇතැම් තරුණ තරුණියන්ට එතැනින් පසුව ජීවිතයම මහ මඟ බවටත් පත්වෙලා. ඒත් ඒ නෙවෙයි ආර්ථික දියුණුව.
එහි මුලටම ගියොත්, ගමට ඒ හැඳින්වීම කර තියෙන්නේම අදූරදර්ශී විදියට. ඒ මිසෙක, කාටත් වැටහෙන සරල විදියට නෙවෙයි. ඒ අපට මුලදීම ලොකුවට වැරදුණු තැනක්. ඉතින් නැවත මුල ඉඳන්ම ඒ වැරැදි හදා ගන්න වැඩපිළිවෙළක් රටට ඕනෑ කරනවා. ඇත්තෙන්ම, අපි අධ්‍යාපනය, හරි හැටි අවබෝධ කර නොගත් රටක්.
දැන් අපි ආයෙත් IMF දෙසට හැරෙනවා?
තව අවුරුදු 5කින් අපි කොතැන ද ඉන්නේ කියන තැන අපම තීරණය කිරීමයි වඩා වැදගත්. එහිදී දෙපයින් නැඟී සිටින තැනට පත් වීමත් අත්‍යවශ්‍යයි. IMF වැඩපිළිවෙළ යටතේ අපි ඊළඟ වාරිකය අවුරුදු 5කින් ගන්නවා නම් එයින් වැඩක් නැහැ. අපි මේ අර්බුදයෙන් ගොඩ ඒමයි වැදගත්. චංචා, දූෂණ, අක්‍රමිකතාවලින් ඈත් වීම ගැනත් IMF අවධාරණය කරනවා. ඒ සමඟ ආදායම් ඉහළ නංවා ගැනීමත් එයින් මඟපෙන්වීම් කරනවා.
තවදුරටත් විස්තර කරමු ද?
සංවර්ධනය කියන්නේ මූල්‍යමය අතින් පමණක් මැනිය හැකි දෙයක් නෙවෙයි. ලෝකයා ඉන්නේත් එතැනයි. අනෙක, අධ්‍යාපනය කියන්නේ අපිට මොළයත් එක්ක ඇති ගනුදෙනුවක්. හැබැයි, අධ්‍යාපනය වෙන එකක්. සරලව කිවුවොත්, අපි අපේ හදවතත් එක්ක තියෙන ගනුදෙනුව ගැනයි ඉන් කියැවෙන්නේ. ඒක සංස්කෘත භාෂාවෙන් එන, ඉන් උකහාගත් සංකල්පයක්. තමන් තමන් ගැන වගේම අනෙකා ගැන කෙතරම් අවධානයකින් සිටිනවා ද කියන කාරණය එහිදී කතාබහට ලක් වෙනවා. අපට රටක් විදියට ඒ ගැන හිතා බලන්න කාලය ඇවිත්. ඒ අනුව, බාලාංශයේ ළමුන්ගේ ඉගෙනුම් ක්‍රමවේද හා එහි පිරිවිතර කෙරෙහි පවා අපට දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. අවුරුදු 12ට අඩු ළමයකුට බර 28KG පමණ පොත් බෑගයක් එල්ලා ගෙන පාසල් යන තත්ත්වයක් තවම මෙරට තියෙනවා. මේ අධ්‍යාපනයේ ප්‍රමිතිය අපි වහවහා දියුණු කළ යුතුව තියෙනවා.
ඒත් ඇත්තෙන්ම දියුණු රටවල ඒ ඒ ශ්‍රේණිවල ළමුන්ගේ පාසල් පොත් බෑග් එකක බර පිළිබඳ පිරිවිතර වෙනවා. අපටත් රටක් විදියට ඒ මඟට පිවිසිය හැකියි. ඒ අනුව 4 ශ්‍රේණියේ ළමුන්ට 3kg 120g උපරිමයකට යටත්වයි පොත් බෑග් දෙන්නේ. විශේෂයෙන්ම, අවුරුදු 5කට වඩා අඩු වයසේ ළමුන්ට සංවර්ධිත රටවලදී නම්, එරට සාර්ථක ව්‍යවසායකයන් සහ එම ව්‍යාපාර කටයුතු දකින්න ඉඩ සලසා දෙනවා. තමන්ගේ නාන කාමරය සුද්ධ පවිත්‍ර කිරීම ආදී ක්‍රියාකාරකම් හරහා ඒ කෙරෙහි වන ධනාත්මක ආකල්ප ඇති කරවනවා. ඒ අනුව කුඩා කාලයේ සිටම ව්‍යවසායකයන් ඇති කර ගැනීමේ කර්තව්‍යයේ රට රටවල් නියැළෙනවා. අපටත් එය ආදර්ශයට ගත හැකියි. ඒත්, තවම අපේ සමාජයේ මවුපියන් තමන්ට මඟහැරුණු, අත් නොදුටු හීන දරුවන් කෙරෙන් සැබෑ කර ගැනීමට වෙර දරන වැඩි දෙනෙක් තමයි සමාජයේ දක්නට තියෙන්නේ.
අපි වෙනතකට හැරෙමු. ඉදිරි වසර ගණනාව තුළදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, එකඟතා අනුවයි මෙරට කටයුතු කෙරෙන්නේ?
ඔව්. රටක් විදියට ඉදිරියට යෑමේදී මූල්‍ය විනය, ආර්ථික ප්‍රතිපත්ති මෙරටට වැදගත්නේ. ඒ අනුව එහි සාධනීය පැති තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සියල්ලන් එකට එක්ව, රට වෙනුවෙන් පොදු එකඟතාවක් සහිතව, දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව, එකම දැක්මකින්, ප්රතිපත්තියකින් යුතුව වැඩ කිරීමේ අවශ්‍යතාව මෙකල තියෙනවා. එහිදී උගතුන්, විද්වතුන්, වෘත්තීයවේදීන්ගේ දායකත්වය ඇතිව පොදු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව රට වෙනුවෙන් තියෙනවා.
අනෙක ආණ්ඩු බලය ගැනීමේදී ඉදිරිපත් කළ සහ ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන පොරොන්දු ඒ පරිද්දෙන් ඉටු කිරීමත් ඉතා වැදගත්. එහිදී ජනමාධ්‍ය හා පොදුවේ ජනමාධ්‍යවේදීන්ටත් පොදු වගකීමක් පැවරෙනවා. ‘රේටින්ග්ස්’ ගැන නොබලා රට වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම ඉටු කිරීමේදී ජනමාධ්‍යයටත් වගකීමක් පැවරෙනවා. සංවර්ධනය, ව්‍යවසායකත්වය ඉහළ නංවන වැඩපිළිවෙළක් උදෙසා වැඩි විකාශන හා ගුවන් කාලයක් වෙන් කර දෙමින්, පොදුවේ වසරක කාලයක් සඳහාවත් පොදු එකඟතාවකට එළැඹෙමින් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ආදියටත් ඒ කර්තව්‍යයට උර දිය හැකියි. ඒ මෙකල දැඩි අවශ්‍යතාවක් පවතින්නක්.
අපි දැන් කතා කරන්නේ ව්‍යවසායකත්ව සංවර්ධනය ගැනයි?
දියුණු රටවල බොහෝ ව්‍යවසායකයන් වෙනවා. අනෙක් අයටත් ඒ තැනට පත්වන්නට මඟ පෙන්වීම්, දිරිදීම් කරනවා. ව්‍යවසායකයන්ට සමාජය තුළ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ඒත් මෙරට එය එතරම් දකින්න නැහැ. දියුණු රටවලට ගියාම, ඒ රටට ගොඩ බසින විටදීම ‘ව්‍යවසායකයන් සාදරයෙන් පිළිගනිමු’ කියමන නිතර දකින්න ලැබෙනවා. මෙරටත් ව්‍යවසායකයන්ට හිමි ගෞරවය දීමට කටයුතු කිරීමත් වැදගත්.
මේ සංචාරක කර්මාන්තය ගැන වැඩි අවධානයක් යොමුවන කාලයක්?
දැන් මෙරට සංචාරක කර්මාන්තය අතින් කලින් තරම් තදබල ගැටලු දක්නට නැහැ. ඒත් තවදුරටත් සංචාරක කළමනාකරණ ආයතනවල කටයුතු විධිමත් වීමත් අවශ්‍යයි. එහිදී නිසි බාහිර පාර්ශ්වවල ද සහාය ගැනීම වැදගත්. විශේෂයෙන්ම, ප්‍රචාරණ කටයුතු නවීකරණය කළ හැකි නම් ඉන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි. එසේම, මෙරට සංචාරක ගමනාන්ත දහස් ගණනක් වුණත් ඉන් බොහොමයකට අදාළව විධිමත් වෙබ් අඩවි දක්නට නැහැ. අඩුම තරමින් එහිලා ප්‍රධාන තැනක් ගන්නා සීගිරිය පිළිබඳ ස්ටෝරි ටෙලින්ග්, ඇනිමේෂන්, ඩිස්නි ආදී නවීන මාදිලි ඔස්සේ නිර්මාණාත්මක ප්‍රචාරණය හරහා තවදුරටත් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකියි. අපේ රන්මිහිතැන්න දියුණු කරන්න අපට නයිජීරියාවේ නොලිවුඩ් එකෙන් ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒක එහෙම වුණා නම්, තවදුරටත් සාම්ප්‍රදායික අපනයන අංශවලින් එහාට ගිහින් අපට මියුසික් වීඩියෝ, ගේම්ස් ආදී පැතිවලටත් විවර වෙන්න පුළුවන්. හැබැයි, ඒකට අපේ ආකල්ප දියුණු තියුණු වෙන්න ඕනි. ඒක කරන්න අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි. පක්ෂ, විපක්ෂ කාගේත් එකමුතුකම එතැනදී ඕනෑ.
අනෙක, සංචාරක කර්මාන්ත අතින් වැඩිදුරටත් විස්තර කරනවා නම්, අපි බටහිර රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා වගේම චීනය කෙරෙහිත් අවධානයක් යොමු කිරීම වැදගත්. බ්‍රිතාන්‍යය අමෙරිකාව ආදී රටවල් පවා චීන ජාතික සංචාරකයන් අද්දවා ගැනීම කෙරෙහි විශේෂ ව්‍යාපෘති දියත් කර තියෙනවා. ඒ අතින්, අපටත් වැඩි අපහසුවකින් තොරවම ලොව වටා සැරිසරන්නට වඩාත් ප්‍රිය කරන චීන ජාතික සංචාරකයන් ද මෙහි ගෙන්වා ගත හැකියි. චීන සංචාරකයන් මෙහි පැමිණීම 0.01%කින් වැඩි කරවා ගත හැකි වුවත් ඉන් මෙරට ආර්ථික දියුණුවට විශාල පිටිවහලක් ලැබෙනවා.