මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයට ප්‍රවේශ වන පියගැටපෙළ ආසන්නයේ වසර දෙකකට වැඩි කාලයක සිට වැසි දිනවලදී ජලය පිරී ඉතිරෙන වළක් ඇතත්, එය වසා දැමීමට කිසිදු වගකිවයුතු අංශයක අවධානය යොමුවී නැතැයි ජනතාව පවසති.
මෙම ස්ථානයේ මීට වසර 50 – 60කට වැඩි කාලයක සිට මාර්ගයේ ජලය බැස යන කානු පද්ධතියක් තිබුණත්, සමහර පාර්ශ්වයන් එම කානු පද්ධති වසා දමා විවිධ ඉදිකිරීම් සිදු කිරීම නිසා එම කානු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීමත්, වගකිවයුතු අංශ එවැනි ස්ථාන කෙරෙහි ගතයුතු ක්‍රියාමාර්ග නොගැනීමත්, ඉතිරිව ඇති කානු පද්ධති නඩත්තු නොකිරීම නිසාත් මෙලෙස මාර්ගය අසල වැසි ජලය රැඳී පවතින බව ඔවුහු පවසති. දිවයිනේ ඇති එකම දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය වන මෙම ස්ථානයට දේශීය හා විදේශීය පාර්ශ්වයන් පුහුණු සැසි සඳහා පැමිණේ. මීට අමතරව වගකිවයුතු නිලධාරීන් ද විවිධ උත්සව සඳහා මෙම ස්ථානයට පැමිණේ. වගකිවයුතු අංශ රැසකගේ නෙත ගැටෙන මෙම ස්ථානයේ සුන්දරත්වය රැක ගැනීම සඳහා වගකීම භාර ගැනීමට කිසිවකුගේ අවධානය යොමු නොවීම විමතියට කරුණක් බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ සිට පුහුණු සැසියකට පැමිණ සිටි ආර්.එම්. කීර්තිපාල තිලකරත්න ගුරු මහත්මා මෙසේ පැවැසීය.
“මෙම ස්ථානය අපේ රටට ලැබුණ සම්පතක්. විශ්‍රාම යෑමට වසර කීපයක් තිබියදීත් අපි දුර බැහැර සිට මෙම ස්ථානයට පුහුණු සැසි සඳහා පැමිණෙනවා. මෙම පරිශ්‍රය ඇතුළත පරිසරය නිසි පරිදි නඩත්තු කර තිබෙනවා. නමුත් මෙම පරිශ්‍රයට පිවිසෙන ගේට්ටු දෙකෙන් එක් ස්ථානයක් ඉදිරිපිට වැසි දිනවලදී ජලය රඳා පවතින අයුරු දින කීපයක සිට දැක ගැනීමට හැකි වුණා. ඒවගේම කානු පද්ධති නඩත්තුවක් නැති බවක් දක්නට ලැබෙනවා. සමහර ස්ථානවල කානු පද්ධති කපා අතරමඟ නවතා දමා තිබෙනවා. මෙම වතුර වළට මාර්ගයේ සමහර ස්ථානවල ගොඩ ගසා ඇති පස් ටිකක් හෝ දමා මෙම ජලය පිරී ස්ථානය වසා දමන්නේ නම් මාර්ගයේ ගමන් කරන අයටත්, මෙම ස්ථානයේ සුන්දරත්වයටත් එය විශාල රුකුලක් වෙනවා.
කොහොම වුණත් අපේ රටේ සමහර නිලධාරීන්ට අඩුපාඩුවක් දැකලා එය නිවැරදි කිරීමට තරම් අවශ්‍යතාවක් නැහැ. කවුරුන් හෝ අඩුපාඩුවක් පෙන්වා දුන්නොත් කඩිමුඩියේ එය නිවැරදි කිරීම තමයි බොහෝ දෙනා කරන්නේ. ඉදිරියේදී මෙම ස්ථානයේ තිබෙන වළත් ඒ අයුරින්ම වසා දැමීම සිදුවේ යැයි හිතන්න පුළුවන්.”
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ