පුත්තලමේන් ගිය අලි ඇතුන් රංචුවක් මේ දිනවල මුන්නේශ්වරම හා අවට ප්රදේශවල සැරිසරමින් ඇති බව පුත්තලම වනජීවී සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
වනජීවී සහකාර අධ්යක්ෂවරයා පවසා සිටියේ මෙම අලි රංචුව තබ්බෝව අභයභුමිය ආසන්නයේ සැරිසරමින් සිට පසුව මහකුඹුක්කඩවල හා ආඩිගම, පල්ලම ප්රදේශවල සැරිසරමින් සිටි බවත් වනජීවී නිලධාරීන් දැඩි ප්රයත්නයක් දරා පලවා හැරියද නැවත පැමිණ මේ වන විට හලාවත ඇතුළු ප්රදේශ රැසක සැරිසරමින් ඇති බව සහකාර අධ්යක්ෂවරයා පවසන්නට විය.
හලාවතට කඩා වැදී ඇති ඇතුන් දෙදෙනකු සමඟ පස් දෙනකුගෙන් සමන්විත අලි රංචුව වනජීවී නිලධාරීන් මහත් පරිශ්රමයක් දරා පලවා හැරීම්වල නිරත වන බව සහකාර අධ්යක්ෂවරයා පවසන්නට විය.
මේ වන විට ඇතුන් දෙදෙනා සමඟ සිටින වනඅලි රංචුව මුන්නේශ්වරම වැවේ දිය කෙළියේ රැඳී සිටින බව ජනතාව පවසති.
මෙම අලි රංචුව රාත්රි කාලයේ හලාවත නගර ආසන්නයේ සැරිසැරීමත් සමඟ මිනිසුන් මහත් බියට පත්වී ඇත.
කෙසේ වෙතත් මෙලෙස අලි ඇතුන් රංචුවක් හලාවත නගරය ආසන්නයට කඩා වැදී ඇත්තේ වසර 40 කට වැඩි කාලයකින් බව ජනතාව පවසති.
පුත්තලම අතිරේක
හිරාන් ප්රියංකර ජයසිංහ