දැනට දශක කිහිපයකට පෙර කුඩා කඩ මණ්ඩියක් ලෙස තිබූ වැලිමඩ බොරලන්ද නගරය අද වන විට ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත්ව ඇතත්, බොරලන්ද නගරයට පැමිණෙන ජනතාවට බසයක් එනතුරු රැඳී සිටීම සඳහා බස් මගී ආවරණ පහසුකම් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවට බස් මගීහු මැසිවිලි නඟති.
වර්තමානය වන විට දියුණු නගරයක් වන බොරලන්ද නගරය ඔස්සේ වැලිමඩ, හපුතලේ, ඔහිය, දියතලාව, බණ්ඩාරවෙල, නුවරඑළිය, කැප්පෙටිපොළ ආදී ගමනාන්තයන් සඳහා බස් රථ ධාවනය වීම දෛනිකව සිදු වේ. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගම්මාන රැසක් මැද පිහිටි මෙම බොරලන්ද නගරයට දෛනික අවශ්‍යතා සඳහා ජනතාව විශාල වශයෙන් පැමිණේ. එමෙන්ම මෙම බොරලන්ද නගරයේ සිට දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමනාන්තයක් වන ඔහිය හරහා ලෝකාන්තය දක්වා කි.මී 23ක් පමණ දුරක් පවතී. එම නිසා නුවරඑළිය වැනි මධ්‍යම පළාතට අයත් නගරවල හා ඌව පළාතේ සංචාරකයෝ ද මෙම බොරලන්ද නගරය ඔස්සේ ලෝකාන්තයට ගමන් කරති. මෙවැනි කාරණා මත දිනෙන් දින ජනාකීර්ණ වෙමින් පවතින බොරලන්ද නගරයේ බස් මගී ආවරණ නොමැතිකමින් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බව නගරයේ වෙළෙඳුන් මෙන්ම ජනතාව ද පවසති. මගී ජනතාවට බස් රථයක් පැමිණෙන තුරු කඩ පිල්වල, ගස් යට, පදික වේදිකාවල රැඳී සිටීමට සිදුව තිබේ.
බොරලන්ද ප්රදේශවාසියකු වන ප්‍රමිල් විතානගේ මහතා මෙසේ පැවසීය.
Òමේ බොරලන්ද නගරයට දෛනිකව විශාල පිරිසක් පැමිණෙනවා. මේ නගරය දිනෙන් දින ජනාකීර්ණ වන නගරයක් බවට පත්වෙලා ඉවරයි. ඉස්සර නම් කඩ කිහිපයක් විතරයි තිබුණේ. දැන් එහෙම නැහැ. වෙළෙඳසල් අලුතින් විවෘත කරලා. බැංකු ආරම්භ කරලා. ඒ නිසා නගරයට එන ජනතාවත් වැඩියි. එසේ එන මගීන්ට තියෙන එකම ගැටලුව තමයි බස් රථයක් එනතුරු ඉන්න තැනක් නිසියාකාරව නැති එක. වැස්සක් ආවොත් ඉන්න ආවරණයක් නැහැ. කඩපිල්වල තමයි ඉන්නේ. මේ නගරයේ ඉඳන් බණ්ඩාරවෙලට, හපුතලේට, නුවරඑළියට, කැප්පෙටිපොළට, වැලිමඩට යන්න බස් තියෙනවා. බස් රථ මාර්ග දෙපස නවත්වලා තමයි මගීන් නංවාගන්නේ. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල මාර්ගයේ රථවාහන තදබදයක් ද ඇති වෙනවා. අපි ඉල්ලා සිටින්නේ මේ නගරයට එන ජනතාවගේ පහසුවට බස් මගී ආවරණ කිහිපයක් හෝ එක ස්ථානයක බස් නැවතුමක් සාදා දෙන ලෙසයි.”
වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්රී