දරුවන් පාසල් දැමීමේදී බරපතළ ගැටලු / ළමා සායන පවා තැන තැන කරන්න වෙලා
මීට වසර 17කට පෙර එවකට රජය විසින් දෙන ලද ඉඩම් කොටසේ ගෙවල් දොරවල් සාදාගෙන ජීවත් වුවත් මේ දක්වා ඉඩමේ අයිතිය තමන්ට නොමැතිව ජීවත්වන පිරිසක් සිටින අපූරු ගම්මානයක් ඌව පළාතේ අගනුවර වන බදුල්ලට කිලෝමීටර් 3ක් 4ක් දුරින් ඇති බව වාර්තා වේ.
එම ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල අලුගොල්ල හරහා කන්දේගෙදර මාර්ගයේ අලුගොල්ල බෝධිය අසල වන අතර, එහි තවත් විශේෂත්වයක් වන්නේ එම ගම්මානය අයත් හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත යෑමට ඔවුන්ට බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පසුකරමින් තවත් කිලෝමීටර් දහයක් පමණ යෑමට සිදු වීමය.
මෙම ගම්මානයේ ඇත්ත තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට පසුගිය දිනක එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හමු වූ ගම්වාසීන් කිහිප දෙනකු අදහස් දක්වමින් පවසා සිටියේ, එම ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් වන අතර, තමන් පදිංචි පාරම්පරික ඉඩම් 2006 වර්ෂයේ නාය යෑමට ලක් වීමෙන් පසු එම පවුල් සඳහා එක් පවුලකට පර්චස් දොළහ බැගින් හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෙල්වටන්වත්ත නමැති ප්‍රදේශයෙන් තමන්ට ලබා දුන් බවයි.
දැනට එම ගම්මානයේ පවුල් 160ක් පමණ ජීවත් වන බව පවසන ඔවුහු, එම කිසිදු ඉඩමකට ඔප්පුවක් හෝ බලපත්‍රයක් මේ දක්වා නොමැති බව ද පෙන්වා දුන්හ.
එම කොටසේ මේ වන විට විශාල ඉඩම් ජාවාරමක් සිදු වන බවට චෝදනා කරන එම වැසියෝ බොහෝ ඉඩම් විවිධ පුද්ගලයන් ලක්ෂ තිහ හතළිහට පිට පළාත්වලින් පැමිණෙන අයට විකිණීම සිදු කරන බවත්, බදුල්ල නගරයට කිලෝමීටර් හතරක් පමණ දුරකින් එම ස්ථානය පිහිටා ඇති නිසා මෙම ඉඩම් සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත් පෙන්වා දෙති.
ගම්මානයට ඉඩම් ලබා දීමේදි ප්‍රජා ශාලාවක් සඳහා වෙන් කරන ලද ඉඩම් කොටස බලහත්කාරයෙන් අල්ලා ගත් අයකු එහි නිවෙසක් ඉදි කර ඇති බවත්, ක්‍රීඩා පිටියට වෙන් කරන ලද ඉඩමේ අවට පදිංචිකරුවන්ගේ ඇවිදින වැටවල් හේතුවෙන් මේ වන විට එහි වොලිබෝල් පිටියක් සකසා ගැනීමට සෑහෙන බිම් කොටසක් පමණක් ඉතිරිව ඇති ආකාරය ද දක්නට ලැබිණි.
ඒ පිළිබඳව අදහස් පළ කළ එම ගම්මානයේ පදිංචි ආර්.එම්. සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
“මේ ගමට අපි ආවේ සොරණාතොට ඉඳන් 2007 වර්ෂයේ. ඒකට හේතුව තමයි අපි පදිංචිව හිටපු අපේ ඉඩකඩම් නාය යෑම. එදා ඉඳන් දැන් අවුරුදු 17ක් අපි මේකේ ජීවත් වෙනවා හැබැයි අද වෙනකම් අපට මේ ඉඩම මගේ කියන්න කිසිම ලියවිල්ලක් නෑ. තියෙන එකම ලිපිය තමයි මේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බදුල්ල ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට ගහලා අපට එවපු ලියුමේ පිටපත. අපි හරියට කල්ලතෝනි වගේ.”
ප්‍රදේශවාසියකු වන ලාලනී ගම්ලත් මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ මෙවන් කතාවකි.
“මේ මම පදිංචි වෙලා ඉන්න ගෙදර. හැබැයි මේක මගේ කියලා තහවුරු කරන්න කිසිම ලියවිල්ලක් මට නෑ. මේ කෑල්ලේ දන්න විදහට පවුල් එකසිය හැටක් විතර ඉන්නවා. ඉඩම් කච්චේරි තිබ්බාට මේවා නිරවුල් කරලා දෙන්න කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ නෑ. අපි අයිති හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වුණත් මේ ගම්මානයට සුසාන භූමියක් නැති නිසා මැරුණ කෙනා වළදාන්න හරි දවන්න හරි බදුල්ල නගරයේ තියෙන නගර සභා සුසාන භූමියට අරන් යන්න ඕනි. ගමට ප්‍රජා ශාලාවක් නෑ. ඒ නිසා ළමයින්ගේ බර කිරන්න එන පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මිය කාගේ හරි ගෙදරක තරාදිය එල්ලලා ඒ වැඩේ කරන්න ඕනි.”
ප්‍රදේශවාසියකු වන චන්දන කුමාර මහතා මෙසේ පැවසීය.
“මේ කොටස අයිති හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩකොහොවිල ග්‍රාම නිලධාරී වසමට. මේ ගම්මානයේ ඉන්න අපට තියෙන මූලිකම ප්‍රශ්නය තමයි ඉඩම්වලට බලපත්‍රයක්, ඔප්පුවක් නැතිකම. අපිට නගරයේ පාසලකට අපේ ළමයි දාගන්න විදිහක් නෑ. දුප්පත් මිනිස්සු හිටියට සමෘද්ධිය නෑ. අස්වැසුම නෑ. අපි මේ ඉඩම්වල අයිතිය විසඳගන්න අපි එල්.ආර්.සී එකට ගියාම ඒ අය කියනවා මේ ඉඩම් අපට දෙන්න තියපු ඉඩම් කච්චේරියේ නාම ලේඛනය ඕනිලු මේවාට විසඳුම් දෙන්න. හැබැයි ඒ නාම ලේඛනය අපි දන්න තරමින් නම් කොහේවත්ම නෑ වගේ. අපට වෙලා තියෙන තව අසාධාරණයක් තමයි අපි බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිහා බල බලා කිලෝමීටර් හත අටක් දුර ගෙවාගෙන වැඩක් කර ගන්න හාලිඇළ යන එක. ඒ නිසා මේ කොටස බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ඇතුළත් කර දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.”
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන