Home » රට ගොඩගන්න ප්‍රේමදාසලාට කාගේවත් උපකාරක පන්ති අවශ්‍ය වන්නේ නැහැ

රට ගොඩගන්න ප්‍රේමදාසලාට කාගේවත් උපකාරක පන්ති අවශ්‍ය වන්නේ නැහැ

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
August 14, 2024 2:15 am 0 comment

රට ගොඩනැඟීමට ප්‍රේමදාසලාට කාගේවත් උපකාරක පන්ති අවශ්‍ය නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහියංගණයේදී පැවැති ජනපවුර වැඩසටහනට එක් වෙමින් පෙරේදා (13) පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

අද රටේ බෙදුම් රේඛාවක් තිබෙනවා. එහි එක් පැත්තකින් කයිවාරුකාරයෝ සහ අනෙක් පැත්තේ වැඩකාරයෝ සිටිනවා. ඒ වගේම එක පැත්තක හොරු මෙන්ම අනික් පැත්තේ අවංක සමාජ සේවය හා සංවර්ධනය ඇති වී තිබෙනවා. එක් පැත්තක ආත්මාර්ථකාමීත්වය ඇති විට තවත් පැත්තක පරාර්ථකාමීත්වය තිබෙනවා.

මා සමඟ හොරු, කයිවාරුකාරයෝ, වංචාකාරයෝ, අල්ලස් දූෂිත දේශපාලනඥයෝ නැහැ. මා සමඟ ඇති දක්ෂ කණ්ඩායම එකතු වී හොරු අල්ලා හොරා කෑ දේපොළ රටට ලබා ගන්නවා. මම අනුප්‍රාප්තික අගමැතිකම්, ජනාධිපතිකම් ලබා නොගත්තේ හොරු රකින්න කැමති නැති නිසයි. මම ඒ තනතුරු භාර ගත්තා නම් පොහොර වංචාකාරයෝ, මූල්‍ය වංචාකාරයෝ රකින්න සිදු වෙනවා. මා අනුප්‍රාප්තික අගමැතිකම්, අනුප්‍රාප්තික ජනාධිපතිකම් 225න් පත්වෙන ජනාධිපතිකම් නම් අපේක්ෂා කරන්නේ නැහැ. මා අපේක්ෂා කරන්නේ ජනතාවගේ තෝරා ගැනීමෙන් රටේ නායකයා වීමයි.

මෙතෙක් කල් රටේ වූයේ ජනතාව බෙදා රජවීමයි. ජාති, ආගම්, කුල ජන කොට්ඨාස ගම් නගර අනුව බෙදා සුළු කොටසක් සැපසේ සිටියත් සාමාන්‍ය ජනතාව දුක් විඳිනවා. මේ වන විට කරන කරන හැම සමීක්ෂණයකින්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙනවා.

රට ගොඩනඟන්න ප්‍රේමදාසලාට කාගෙන්වන් උපකාරක පන්ති අවශ්‍ය නැහැ. ජනසවිය ක්‍රියාත්මක කළේ රටේ යුද්ධ 2ක් ඇති අවස්ථාවේදී. ඒ කාලේ පාසල් දරුවන්ට නිල ඇඳුම, දිවා ආහාරය පවා ලබා දුන්නා. ඒ ආකාරයෙන් රටට ලබා ගත හැකි ඉහළම ආධාර ලබා ගැනීමට කටයුතු කරන්නේ සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන ආකාරයටයි.

අපේ රජයක් යටතේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මැති ඇමැතිවරුන්ට නිකං රට සවාරි යා නොහැකියි. රට ගමනක් ගියොත් සෑම ගමනකින්ම රටට ප්‍රායෝජනයක් ගෙන පැමිණිය යුතුයි.

රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව තිබෙන්නේ ආණ්ඩුවල වරදින්. රට බංකොලොත් කිරීම නිසා විපතට පත් ජනතාව දුප්පතුන් බවට පත්වෙලා. එම නිසා ජනසවියට වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සදාකාලික සහනාධාර ලබා නොදී දුප්පත්කමින් මිදෙනකම් ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මේවා කරන්න වැඩ බැරි කයිය නායකයන්ට මුදල් නොමැති වුවත් තමාට ඒ සඳහා මුදල් සොයන ක්‍රම තිබෙනවා. දැන් ඉන්න පාලකයෝ හැසිරෙන්නේ රට සින්නක්කරව ලියා ගත් ආකාරයටයි. අපි බලයට එන්නේ සැප බලාගෙන නොවෙයි. මැති ඇමැතිකම් රෝසමල් යහනා නොවෙයි. රාජ්‍ය පාලනය යනු සෞභාග්‍යය සම්පන්න ජීවිත ගත කිරීම නොව ජනතාව වෙනුවෙන් දූෂ්කර ක්‍රියා කිරීමයි. ප්‍රතිපත්ති සම්පාදනය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ක්‍රියාත්මක කර රටට වැදගත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා.

කුඩා කාලයකින් සමාජයේ ජනප්‍රියත්වයට පත් වූ සමගි ජන බලවේගය ඉදිරි අනාගතයේ දී පොදුජන යුගයක් බිහි කරන බවත් මකත තබා ගන්න.

උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT