ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ පොදුජන එක්සත් පෙරමුණ සමඟ එක්ව නව සන්ධානයක් සඳහා සන්ධානගත වීම බත්තරමුල්ල, වෝටර්ස් එජ හෝටලයේදී අද (14) පෙරවරු 10.30ට සිදු කෙරේ.
පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂවල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයකි. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මෙහිදී සන්ධානගත වීමට නියමිතව ඇත. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් නියෝජනය වන දේශපාලන එකතුවක් සහිතව මෙම පුළුල් සන්ධානය ගොඩනැංවෙනු ඇත. සියලු ජාතීන්ට පිළිගත හැකි සමඟිය, සහෝදරත්වය, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සහිත පුළුල්ම ජනතා වේදිකාව බවට මෙම සන්ධානය පත් වේ.
එමෙන්ම වෘත්තීය සමිති, අනුබද්ධ සංවිධාන, සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් මෙම සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇත. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, එස්.එම්.එම්. මුසාරෆ්, ඉෂාක් රහුමාන්, එස්. වියාලේන්ද්‍රන්, නසීර් අහමඩ්, මොහොමඩ් මුසම්මිල්, අලි සබ්‍රි රහීම්, උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් මෙන්ම වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.
නෙත්මි පූජනී රත්නායක