මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනාගෙන් හතරදෙනකුම මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඉදිරිපත් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජගත් පුෂ්පකුමාර, විජිත බේරුගොඩ, ගයාෂාන් නවනන්දන, කුමාරසිරි රත්නායක එම පිරිස වන අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල සිලැන්රිච් හෝටලයේ පැවැති සාකච්ඡාවකට මේ මන්ත්‍රීවරු පෙරේදා (12) සහභාගි වූහ.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරයි.
මෙම සාකච්ඡාවට එක්ව සිටි මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු ද එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළහ.
මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මොනරාගල දිස්ත්‍රික් නායිකා හිටපු කැබිනට් ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මිය ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ අවස්ථාවට එක් වූවාය. මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් 102ක්ම මෙම සාකච්ඡාවට සහභාගි වූහ. මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් 297ක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.
රැස්ව සිටි මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත් ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රතිඥා දුන්හ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබෙන බවයි.
රටට ආදරය කරන බොහෝදෙනකු ඇතුළු බොහෝ පක්ෂ ඒ සඳහා සහාය දක්වන බව කී ඇමැතිවරයා මෙවර මැතිවරණය කිසිවකුගේ පෞද්ගලික හෝ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කරන මැතිවරණයක් නොවන බව ද සඳහන් කළේය.
උපාලි කරුණාරත්න, ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක