2025 අය-වැයට අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් වෙයි
මහජන මුදල් කාර්යක්ෂමව හා ජනතාවගේ යහපත සඳහා උපරිමයෙන්ම යොදා ගැනෙන පරිදි දැඩි මූල්‍ය විනයක් සහිතව ලබන වසර (2025) සඳහා අය-වැය සකස් කිරීමට අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය මඟින් මේ වන විට නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතු මෙම චක්‍රලේඛය, සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රජයේ සියලු ආයතන ප්‍රධානීන් වෙත පෙරේදා (12) යවා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ වඩාත් කාර්යක්ෂම සහ දූෂණයකින් තොරව මහජන මුදල් කළමනාකරණය කිරීම සඳහා උපදෙස් දී තිබීමයි. ලබන වසර සඳහා අය-වැය සකස් කිරීමේදී වසර “2025 – 2027 “ මධ්‍ය කාලීන දැක්මට අනුව තම ආයතනවල යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත ලබා දෙන්නැයි ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFM පනත) සහ 2025-2027 මධ්‍ය කාලීන මූල්‍ය රාමුවට (MTFF) අනුකූලව 2025 අය-වැය සකස් කිරීමට අපේක්ෂා කෙරේ. 2025 අය-වැය මූල්‍ය විනය සහ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය සහතික කිරීම සඳහා සකස් කරනු ලබන අතර, ප්‍රමාණවත් මහජන අරමුදල් කාර්යක්ෂමතාව ප්‍රශස්ථ කිරීම සහ මුදල් සඳහා වටිනාකම සහතික කිරීම සඳහා උපායමාර්ගිකව යෙදවීම මෙමඟින් සහතික කරයි. මෙම චක්‍රලේඛයේ අරමුණ වන්නේ වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී වියදම් නියෝජිතායතනවලට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීමයි.
2022දී උච්චතම වූ ගැඹුරු සහ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයෙන් පසුව, රජය පසුගිය වසර දෙක තුළ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගනිමින් හා එය මනාව සම්බන්ධීකරණය කරගෙන සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ මෙම ප්‍රයත්නයේ ප්‍රමුඛත්වය ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ මඟින් 2021දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.7%ක ප්‍රාථමික අය-වැය හිඟය, 2023දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක ප්‍රාථමික අය-වැය අතිරික්තයක් බවට පත් කිරීමට හැකි වී ඇත. මෙම ක්‍රියාමාර්ග හරහා අනෙකුත් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සමඟින්, ආර්ථිකයේ ස්ථායීතාවක් දැන් තහවුරු වී ඇත. මෙම ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් විඳ දරාගත් පරිත්‍යාගයන් සහ දුෂ්කරතා තුළින් හැකි වූ විනයගරුක මූල්‍ය භාවිතයන්ගේ ප්‍රතිඵලයකි. පසුගිය වසර දෙක හා සසඳන විට රාජ්‍ය මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස ස්ථාවර වී ඇතත්, මෙය කිසිසේත්ම සෑහීමකට පත්වන කාලයක් නොවේ. පවතින ආර්ථික ස්ථාවරත්වය මූල්‍ය විනය පවත්වාගෙන යෑමට සහ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍යය. මෙම මාවතෙන් යම් අපගමනය ශීඝ්‍ර ආර්ථික පසුබෑමක් කරා යන විෂම චක්‍රය වෙත රට පහසුවෙන් තල්ලු කළ හැකිය. එබැවින් ඉදිරියටත් එවැනි අර්බුදයක් ඇති නොවන තැනට වගබලා ගනිමින් අය-වැය යෝජනා එවන්නැයි මහා භාණ්ඩාගාර දැනුම් දී ඇත.
ජයසිරි මුණසිංහ