Home » තල්රුප්පාවේ දරු දැරියන්ට ව්‍යවසායකයන්ට යාපනයේ වෙළෙඳ වාණිජ සංගමයේ අත හිත

තල්රුප්පාවේ දරු දැරියන්ට ව්‍යවසායකයන්ට යාපනයේ වෙළෙඳ වාණිජ සංගමයේ අත හිත

by sachintha
August 14, 2024 2:08 am 0 comment

ධනය එක් රැස්කිරීම සහ ලාභ ලැබීම මතම පමණක් කටයුතු කිරීම මඳකට පසෙකලා තල්රුප්පාවේ දරු දැරියන් පතපොතට හුරු කිරීමේ අරමුණින් යාල්පානම් වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ඉකුත්දා නව ආරක වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

ඒ අනුව යාපනය වීරසිංහම් ශාලාවේදී ඉකුත් 09 වැනිදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවත්විණි. උතුරු පළාත් ආණ්ඩුකාර එස්.පි.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දකුණු ලක පොල්රූපාවේ ප්‍රබල වාණිජ මණ්ඩලයක් වන Ceylon Federation Of MSME සභාපතිනි ශසිකා ද සිල්වා මහත්මිය සහ සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

උතුර දකුණ යළි සහෝදරත්වයෙන් සමගියෙන් සහජීවනයෙන් එක දම්වැලක පුරුකක් සේ, එක මවකගේ දූ දරුවන් සේ එක්සත් කිරීමට ඉතාම යෝග්‍ය වැඩපිළිවෙළ වන්නේ සිංහල දෙමළ භාෂා දැනුම දෙපිරිසටම ලබා දීමයි. එමෙන්ම දෙපිරිසගේම ආගමික, සංස්කෘතික ආකල්ප හා අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම දැනුම් සම්භාරය හුවමාරු කර ගැනීමයි.

මේ වැඩපිළිවෙළේ මූලික ඉලක්කයන් එය බව යාපනයේ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය වාසුදේවන් රාසයියා මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රදර්ශනය සඳහා ග්‍රන්ථ කතෘවරුන්, පොත් ප්‍රකාශකයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, විශ්වවිද්‍යාල දරු දැරියන්, ව්‍යාපාරිකයින් ව්‍යවසායකයින් නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

යාපනය ප්‍රමුඛ උතුරු අර්ධද්වීපයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන සැලැස්මක් සකස් කර ඇතැයි මේ අවස්ථාව ඇමතූ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කළාය.

උතුරු පළාතේ සංචාරක කර්මාන්තය පාරිසරික හා ආගමික අංශ මුල්කරගත් සංචාරක කර්මාන්තයක් ලෙස ද, ධීවර කර්මාන්තය ද, එමෙන්ම එම ප්‍රදේශවල පවතින ස්වාභාවික සම්පත් ද රටේ සමස්ත ආර්ථික දියුණුවට මනාව යොදා ගැනීමට නව සැලසුම් සකස් කොට ඇතැයි ද, නව කෘෂිකාර්මික කර්මාන්ත හා සේවා සියල්ල ආරම්භ කිරීමේදී ආයෝජකයින්ට ඉතාමත්ම පහසුවෙන් ඒවා ඇරඹීමට මිත්‍රශීලි පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද, උතුරු පළාතට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට ජනාධිපතිතුමා පොරොන්දු වී ඇතැයි ද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.

යාපනය අර්ධද්වීපයේ නව කර්මාන්ත සේවා සහ කෘෂිකර්ම කටයුතු ආරම්භ කිරීමට ඉතාම සුදුසු බිමක් වන බවත් ඒ සඳහා වැඩි වැඩියෙන් දකුණේ ව්‍යවසායක සංගමයක් ලෙස තමන් ඉදිරියේදී පියවර ගන්නා බවද බවත් තම සංගමය ලංකා කර්මාන්ත සංවර්ධන මංණ්ඩලය සමඟ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට ගිවිසුම් ගත වී ඇති නිසා මෙම වැඩපිළිවෙළට පහසුවක් වන බව සභාපතිනිය ශෂිකා ද සිල්වා මහත්මිය මේ අවස්ථාව අමතමින් පවසා සිටියාය.

යාපනය පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සම්භාවනීය අමුත්තන් විසින් විවෘත කරන අයුරුයි මේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT