Monday, April 21, 2025
Home » කන්කසන්තුරේ දුම්රියපොළේ නවතා ඇති දුම්රියවලින් කලක සිට ඩීසල් ඇදලා

කන්කසන්තුරේ දුම්රියපොළේ නවතා ඇති දුම්රියවලින් කලක සිට ඩීසල් ඇදලා

by sachintha
August 14, 2024 2:07 am 0 comment

කන්කසන්තුරේ දුම්රියපොළේ රාත්‍රී කාලයට නවතා තිබෙන දුම්රියවලින් දුම්රිය සේවකයින් කීප දෙනකුගේ සහාය මත ඩීසල් ඇද අලෙවි කරන ජාවාරමක් ආරක්ෂක නිලධාරීන් විසින් පෙරේදා (12) අනාවරණය කරගෙන තිබේ.

නාඳුනන කීප දෙනකු නවතා ඇති දුම්රිය එන්ජිමක් අසල රාත්‍රියේ සැකකටයුතු ලෙස ගැවසීම නිසා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු එම ස්ථානය දෙසට යන විට එම පිරිස පලා ගොස් තිබේ.

අවට ප්‍රදේශය සෝදිසිකොට බැලීමේදී දුම්රිය එන්ජින්වලින් අදින ලද ඩීසල් ලීටර් 24ක් ප්ලාස්ටික් කෑන්වලට දමා තිබියදී ඔවුන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.

කන්කසන්තුරේ දුම්රිය ස්ථානවල නවතා තිබෙන දුම්රිය එන්ජින්වලින් ඩීසල් අඩු වන බවට දුම්රිය බලධාරීන් විසින් කන්කසන්තුරේ පොලිසියට මීට වසර දෙකක සිට පැමිණිලි හතරක් ඉදිරිපත් කොට තිබුණද ඩීසල් හොරුන් සොයා ගැනීමට හැකි වී නොමැත.

මේ දිනවල කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ රාත්‍රී කාලයට ගාල් කොට තබන්නේ එක් දුම්රිය එන්ජිමක් පමණක් නිසා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට ඉතා පහසුවෙන් ඩීසල් හොරු දැක ගන්නට අවස්ථාව උදා වී තිබේ.

ඩීසල් ලීටර් 24ක ප්‍රමාණය කුඩා ප්ලාස්ටික් කෑන් හතරකට දමා තිබූ අතර ඒවා කන්කසන්තුරේ දුම්රිය බලධාරීන් වෙත භාර දීමෙන් පසුව ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරේ පොලිසියට පැමිණිලිකොට තිබේ.

කන්කසන්තුරේ පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වා ගෙන යයි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT