යාපනයේ මීසාලේ ප්‍රදේශයේ නිවෙසක තනිවම ජීවත් වූ වයස අවුරුදු 81ක කාන්තාවක් අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවෙසට ආසන්නයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක තරුණයෙකු කොඩිකාමම් පොලිසිය විසින් පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ නඩේසප්පිල්ලෙයි සරස්වතියම්බල් නමැති කාන්තාවකි.
ඇයගේ දරුවන් විදේශගත වී රැකියා කරන අතර ස්වාමියා මියයාමෙන් පසුව ඇය තනිවම ජීවත් වී තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයා වයෝවෘද්ධ කාන්තාවගේ නිවෙසේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ මංකොල්ලකෑමේ චේතනාවෙන් ඇයගේ ගෙල සිරකොට මරා දමන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
කාන්තාවගේ සිරුරේ තිබූ තුවාල හා පැල්ලම් දෙස බලන විට තරුණයා විසින් වයසක කාන්තාව දූෂණය කොට ඇති බවටද සැකයක් පහළ වී තිබේ. අත්අඩංගුවට ගත් තරුණයාගෙන් පොලිසිය ප්‍රශ්න කරගෙන යන අතර මියගිය කාන්තාවගේ මෘතශරීරය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත පොලිසිය රැගෙන ගොස් තිබේ.
කොඩිකාමම් පොලිසිය ප්‍රකාශ කරන්නේ මරණය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් හෝඩුවාවන් සොයා ගැනීමට හැකි වන බවයි.
කොඩිකාමම් පොලිසිය මේ මරණය ගැන පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ